ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන ළැව් ගිනි හේතුවෙන් එරට ආර්ථිකයට සිදුව ඇති පාඩුවඅද ඊයේ(12) වනවිට ඩොලර් බිලියන 150 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ළැව් ගිනි හේතුවෙන් පසුගිය 10 වැනිදා වනවිට ඇමෙරිකානු ආර්ථිකය සිදුවූ ඇති පාඩුව ඩොලර් බිලියන 52 ත් 57 ත් අතර වන බවට ඇස්තමේන්තු කර තිබූ අතර එය දිනක් තුළ බිලියන 135 ත් 150 ත් අතර දක්වා ඉහළ යෑමෙන් ළැව් ගිනි ඇමෙරිකාවට කර ඇති විනාශයේ බරපතළකම පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.
මේ වනවිට ළැව් ගිනි හේතුවෙන් මියගිය සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් ඇති බවත් පැලිසේඩ්ස් සහ ඊට්න් ළැව් ගිනි එම මරණවලට හේතුවී ඇති බවත් තවත් 13 දෙනකු අතුරුදන් වී ඇති බවත් ඇමෙරිකානු බලධාරීහු ප්‍රකාශ කළහ. ආරක්‍ෂිත ස්ථානවල සිටි පිරිස 150,000 ක් විය.
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් නුවර ස්ථාන කීපයක පසුගිය 7 වැනිදා ළැව් ගිනි හටගත් අතර එළෙස ආරම්භ වූ ළැව් ගිනි අතරින් පැලිසේඩ්ස්, ඊට්න්, කෙනත් සහ හර්ස්ට් ඊයේ(12) වනවිට සක්‍රීය තත්වයේ පැවැතිණි. පසුගිය 9 වැනිදා හටගත් කෙනත් ළැව් ගින්නෙන් සියයට 90 ක් මැඩ පැවැත්වීමට ගිනි නිවනභටයින් ඊයේ(12) වනවිට හැකියාව ලැබී තිබූ අතර හර්ස්ට් ළැව් ගින්නෙන් සියයට 76 ක් මැඩ පැවැත්වීමට ගිනි නිවන භටයින්ට හැකියාව ලැබුණේය.
නමුත් අද(12) වනවිටත් ගිනිනිවන භටයින්ට පැලිසේඩ්ස් ළැව් ගින්නෙන් මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ සියයට 11 පමණක් වන අතර ඊට්න් ළැව් ගින්නෙන් මැඩ පැවැත්වීමට හැකියාව ලැබී ඇත්තේ සියයට 15 ක් පමණි.
ලොස් ඇන්ජලීස් සහ වෙන්චුරා පළාත්වලට හමන දැඩි සුළං සති අන්තය නිම වෙත්ම තවත් දැඩිවනු ඇතැයි කාළගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබෙන බවත් ඒ හේතුවෙන් පැලිසේඩ්ස් මැඩ පැවැත්වීම ගිනිනිවන භටයින්ට ඉතාමත් දුෂ්කර කාර්යයක් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර ලොස් ඇන්ජලිස් නුවර කෙළවර පැතිරෙමින් තිබූ පැලිසේඩ්ස් ගින්න වෙනත් දිශාවකට ගමන් කරන බවට ඊයේ(11) අනතුරු ඇඟවීමක්ද නිකුත් වූ අතර මේ වනවිට ඒ හේතුවෙන් තවත් ජනයා ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට ඇමෙරිකානු බලධාරීන් කටයුතු කර ඇති බවද පැවැසෙයි
ළැව් ගිනි හේතුවෙන් ගොඩනැගිලි 12,000 විනාශ වී අක්කර 37,000 ක් විනාශ වී ඇති බවත් ගින්නක් ඇති වූ විට ගින්න නිවීම සඳහා භාවිත කරන වීථි නළවලට ප්‍රමාණවත් ජල පීඩනයක් නොලැබීම පිළිබඳව සහ සැන්ටා ය්නෙස් ජලාශයේ වතුර නොමැති කම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් ආරම්භ කරන ලෙස කැලිෆෝනියා නගරාධිපති ගැවින් නිව්සම් ඉල්ලා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පැලිසේඩ්ස් සහ ඊට්න් ළැව් ගිනි මැඩ පැවැත්වීමට මෙක්සිකෝව සහ කැනඩාව ගිනි නිවන භටයින් මෙන්ම වතුර ගැලුම් දස දහස් ගණනක් රැගෙන පියාසර කළ හැකි ගුවන් යානා ඇමෙරිකාවට සහාය පළකරමින් ඊයේ(12) කැලිෆෝනියා ප්‍රාන්තයට එවනු ලැබුවේය. තවත් අවශ්‍ය නම් එවීම සඳහා ගිනි නිවන භටයින් මෙන්ම උපකරණද සූදානම් බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළේය.
කෙසේවෙතත් ඊයේ(12) දහවල් කාලය වනවිට පැලිසේඩ්ස් සහ ඊට්න් ළැව් ගිනි ව්‍යාප්ත වී තිබූ ඇතැම් ප්‍රදේශවල ගින්න පාලනය කිරීමේදී ගිනි නිවන භටයින් යම් ප්‍රගතියක් ලබා තිබිණි.
ළැව් ගිනි හේතුවෙන් හොලිවුඩ් සුපිරි තරුවලටද නිවාස අහිමි වූ අතර ඒ අතර මෙල් ගිබ්සන්, පැරිස් හිල්ටන් සහ මැන්ඩි මුවර් යන නළු නිළියෝද සිටියහ. ළැව් ගිනි නිවීමට ප්‍රමාණවත් ජලය නොමැති වීමට හේතුව කිම් කාර්ඩෂයින් වැනි සමාජයේ ඉහළ පැළැන්තියේ ප්‍රසිද්ධ පුද්ගලයන් තමාගේ සුබ සිද්ධිය සඳහා ජලය අධික ලෙස භාවිත කිරීම යැයි ඊයේ(11) වන විට ලොස් ඇන්ජලිස් නගරවැසියන් අතර මතයක් ගොඩ නැගී තිබූ බවත් ඒ පිළිබඳ නගරවැසියන් කෝපයෙන් සිටි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කිම් කාර්ඩෂයින් වැනි සමාජයේ ඉහළ පැළැන්තියේ ප්‍රසිද්ධ පුද්ගලයන් ඔවුන්ගේ ගෙවතු සඳහා මෙන්ම ගින්නක් ඇතිවූ විට ආරක්ෂා වීම සඳහා අධික ලෙස ජලය එක්රැස් කිරීම හේතුවෙන් තමන්ගේ නිවාස බේරා ගැනීමට නොහැකි වූ බව චෝදනා එල්ල කළ ලොස් ඇන්ජලිස් වැසියන්ගේ මතය විය. එසේම ගිනි නිවන භටයින් ලෙස සැරසී නිවාස මංකොල්ල කෑ පිරිසක් අත් අඩංගුවට ගැනීමටද ලොස් ඇන්ජලීස් පොලිසිය ඊයේ(12) සමත් විය.