Sunday, 15 November 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

ආර්ථික හා සංස්කෘතික සහයෝගීතාව ඉහළට: නියෝජ්‍ය ඇමති අරුන් සහ තුර්කි තානාපති හමුවෙති

බෙදාගන්න
XWhatsAppTelegramඅදහස්

ආර්ථික, සංස්කෘතික සහ සම්බන්ධතා (Connectivity) ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සහ ශ්‍රී ලංකාවේ තුර්කි ජනරජයේ තානාපති සෙමිහ් ලුත්ෆු ටර්ගුට් (Semih Lütfü Turgut) මහතා අතර ඵලදායී සාකච්ඡාවක් පවත්වා තිබේ.

ප්‍රධාන ක්ෂේත්‍ර හයක් ඔස්සේ ඉහළ මට්ටමේ දේශපාලන සබඳතා යළි පණගැන්වූ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෑතකාලීන තුර්කි නිල සංචාරයෙන් ඇතිවූ ප්‍රගතිය පදනම් කරගනිමින් මෙම හමුව පැවැත්විණි. එම සංචාරය අතරතුර අත්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් දෙක කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම පිළිබඳව මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, අපේක්ෂිත අනෙකුත් ගිවිසුම් කඩිනම් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ විය.

ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාව

වෙනස් වන ගෝලීය වෙළෙඳපොළ ප්‍රවණතා මධ්‍යයේ තුර්කිය වෙත සිදුකෙරෙන ශ්‍රී ලංකා තේ අපනයනයේ මෑතකාලීන වර්ධනය පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. එමෙන්ම, ද්විපාර්ශ්වික වෙළෙඳාම විවිධාංගීකරණය කිරීමේ සහ ව්‍යාපාර අතර සෘජු සබඳතා (Business-to-business exchanges) තවදුරටත් දිරිමත් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණි.

ගුවන් සේවා සහ සංස්කෘතික සබඳතා

දෙරට අතර සම්බන්ධතා සහ සංස්කෘතික බැඳීම් ඉහළ නැංවීමේ අවස්ථා පිළිබඳව ද දෙපාර්ශ්වය මෙහිදී ගවේෂණය කළහ. ශ්‍රී ලංකාවේ දේශීය ගුවන් සේවා හඳුන්වා දීම සඳහා තුර්කි ආයෝජන යොමු කිරීමේ හැකියාව පිළිබඳ යෝජනා මෙන්ම, සංස්කෘතික සංචාරක ව්‍යාපාරය සහ පුරාවිද්‍යාත්මක ස්ථාන සංරක්ෂණය කිරීමේ ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය.

ඔබේ අදහස