ආයේ සහල් හිඟයක් ඇති වන්න ඉඩ දෙන්නේ නෑ

පසුගිය කාලයේදී පාලකයන් වී මිලදී ගෙන නොමැති බැවින් සහල් හිඟයක් ඇති වූ බවත්, සහල් මිල හෝ වී මිල පිළිබඳ නැවත අර්බුදයක් ඇති වීමට ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මොනරාගල පැවති ජනරැළලියක් අමතමිනි.

රට ගොඩනැගීමට දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා, පොදු ජනයා එකතු කරගත් මහජන පෙරමුණක් ඇති කරන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

“ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයට විවිධ අවලාද නැගුවා. එවැනි අවලාද ගොඩනගද්දීත් ජනතාව ඒවා මායිම් නොකර ජාතික ජන බලවේගය විශ්වාස කළා. මේ රටේ ජනතාව නිර්භීත තීන්දුවක් ගත්තා. ඒක වැදගත් තීන්දුවක්. මීට කලින් ආණ්ඩු මාරු වුණේ එයාලගේ අතින් එයාලගේ අතකටමයි. එයාලගේ පවුලකින් එයාලගේ පවුලකටමයි.

ඔවුන් හැමදාම කළේ බෙදිල ඡන්දය කරලා එකට ආණ්ඩු කිරීමයි. දැන් ඒ පක්ෂ කොහෙද? මේ වැල්ලවායේ කෙනත් එහෙම තමයි. බෙදිලා ඡන්ද කරනවා එකට ආණ්ඩු කරනවා. පහුගිය ජනාධිපතිවරණයේදි කිව්වා අගමැතිකම මොනරාගලට කියලා. මතකද? එයාලා අතර ඇත්ත විරසකයක් තිබුණෙ නෑ.

එයාලා අතර ප්‍රතිපත්ති වෙනසක් තිබුණේ නෑ. එයාලා කවදාවත් පරාජයට පත්වුණාට සැකයක් තිබුණේ නෑ. මොකද බලය මාරු වුණේ තමන්ගේ පිලෙන් තමන්ගේ පිලටමයි. නමුත් පහුගිය සැප්තැම්බර් මාසයේදී දූෂිත නාස්තිකාරී ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය මාරු වී තිබෙනවා. දැන් ඒ අයට ගොඩක් රිදෙනවා. එයාලා හැමදාම හිතාගෙන හිටියේ රට පාලනේට උපන් පවුල් කියලා.

මේ රට පාලනය කරන්න ඒගොල්ලන්ගේ පරම්පරාවෙන් එන බූදලේ කියලා හිතාගෙන හිටියේ. ඒ දූෂිත ප්‍රභූ පාලනයෙන් පොදු ජනතාව අතට බලය අමාරු වුණා. දැන් නැවත උත්සාහ කරනවා ආණ්ඩුව වට්ටන්න. මොකද කියන්නේ? පරාජයට පත් කරන්න දෙනවද? වට්ටන්න දෙනවද? මේ ආණ්ඩුව වට්ටන්න බැහැ.

ජනවාරි, පෙබරවාරි වෙනකොට අලුත් වී අස්වැන්න නෙළනවා. නමුත් අලුත් අස්වැන්න නෙළන හැම කාලෙදිම වුණේ සහල් මිල ඉහළ ගිය එකයි. එය පාලනය කරගන්න රජයේ ගබඩාවල වී තියෙන්න ඕනේ. නමුත් පසුගිය කාලේ පාලකයෙන් වී මිලදී ගෙන නැහැ. වී ගබඩා හිස්. සහල් මිල සම්බන්ධ නැවත මෙලෙස අර්බුදයක් ඇතිවීමට අප ඉඩ දෙන්නෙ නෑ.

සියලු ගබඩා මේ වන විට අපි ප්‍රතිසංස්කරණය කරමින් තිබෙනවා. එළඹෙන මහ කන්නේ වැඩිම වී ප්‍රමාණයක් ආණ්ඩුව මිලදී ගන්නවා. එතකොට ආණ්ඩුවේ වී තොගයක් තිබෙනවා. මෝල් හිමියන් ගාවත් වී තොගයක් තිබෙනවා. එතකොට අපට පුළුවන් තරගයක් දෙන්න. එතකොට සහල් මිල සඳහා ඒකාධිකාරයක් හදන්න බැහැ. අපි සහල් මිලේ ප්‍රශ්නයත්, වී මිලේ ප්‍රශ්නයත් විසඳීමට කටයුතු කරනවා. මම ජනාධිපති ඔබ පුරවැසියා නෙවේ. අපි සියලුදෙනා මහන්සි වෙලා අපේ දරුවන්ගේ පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කරමු. මේ රට ගොඩනැගීමකින් තොරව නැවත හරවන්න දෙන්නේ නැහැ. නොවැම්බර් 14වැනිදා විශාල ජයග්‍රගහණයක් මොනරාගලින් ලබාදෙන්න කියා ඔබට ආරාධනා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *