ආදී වාසී අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කර සිය ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබා දෙන්නැයි ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවී කොලඹදී ඉල්ලීමක් කළේය.
වනාන්තර පරිභෝජනය කිරීම, ජීවනෝපාය උපයා ගැනීම සහ විවිධ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ආදී වාසී ජනතාව බොහෝ ගැටලුවලට මුහුන පා තිබෙන බවත් මෙම ගැටලු සඳහා නීත්‍යානුකූලව විධිමත් ආකාරයේ විසදුම් අපේක්ෂා කරන බවත් වන්නිල ඇත්තෝ සඳහන් කලේය.
අග්‍රාමාත්‍යවරිය හමුවීමෙන් පසු කොලඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී අදහස් දැක්වූ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තො සිය ගැටලු සම්බන්ධයෙන් තවදුරටත් මෙසේද පැවසීය.
“දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ආදීවාසි ජනතාව නිදහසු ලැබී රට සංවර්ධනය වීමත් සමග විශාල රැැටලු රාශියකට මුහුන දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ආදී වාසි නායකයන් විවිධ අවස්ථාවල හඬ නැගුවා. ඒ ඒ අවස්ථාවල වාචික විසදුම් ලබා දුන්නත් ආදී වාසි ගැටලු සම්බන්ධයෙන් නීත්‍යානුකූල විසදුම් ලබාදීමට කිසිදු රජයක් කටයුතු කර නැහැ.
අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් ජිනීවා වලට පවා ගියා. කැලෑවේ නිදහසේ ජීවත්විම වෙනුවෙන් නීත්‍යානුකූලව අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග සාකච්ඡා කළා. මෙවරත් අපි අගඅග්‍රාමාත්‍යවරිය ඇතුලු රජයේ බලධාරීන් සමග සාකච්ඡා කළා. එහිදී ඔවුන් අපේ ගැටලු සම්බන්ධයෙන් අවධානය විසදුම් ලබා දීමට එකඟතාවය පළ කළා.
ආදිවාසීන් විදියට අපේ රාජකාරිය දඩයම විතරක් නෙමෙයි. ඖෂධ ලබා ගැනීම, අල සහ ගෙඩි ලබා ගැනීම, දර ලබා ගැනීම ඇතුලු දේ සඳහා අපි වනගත වෙනවා. මේ දේ නිසා අපේ අයට නඩු හබ පවා වැටෙනවා. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත් කේන්ද්‍ර කරගනිමින් ලක්ෂ පහකට අධික ආදිවාසී පිරිසක් ජීවත් වෙනවා. මේ අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා.
මෙම මාධ්‍ය හමුව සඳහා දානිගල මහබණ්ඩාරලාගේ හිංගම්මා ඇත්තෝ, නල්ල තම්බි වේලායුදම්, නාගරත්තිනම් වරදන් යන ආදිවාසී නායකයින් සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නියෝජනය කරමින් එහි ජ්‍යෙෂ්ඨ පර්යේෂක ලයනල් ගුරුගේ මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.