LK reports news sinhala

අළු බඳුන පළමු ජය ඕස්ට්‍රේලියාවට

එංගලන්තයේ එජ්බැස්ටන්හි පැවැති අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තර‍ගයෙන් ලකුණු 251ක විශිෂ්ට ජයක් හිමිකරගැනීමට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත් අතර ඒ සඳහා උපරිම දායකත්වය ලබාදුන් ස්ටීව් ස්මිත් ලකුණු 144ක් ලබාගැනීමට සමත් විය. එංගලන්තය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ ස්ටුවර්ට් බෝඩ් කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් විය.

සිය පළමු ඉනිම වෙනුවෙන් එංගලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 374ක් ලබා ගත්තේ පළමු ඉනිමේ වාසිය ලබා ලකුණු 90ක් ඉදිරියෙන් සිටිමිනි. එංගලන්ත ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් ලකුණු 133ක් හිමිකරගත් අතර ජෝ රූට් සහ බෙන් ස්ටොක්ස් ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පැට් කමින්ස් හා නේදන් ලයන් අතර කඩුලු 3 බැගින් බෙදී ගිය අතර සිය දෙවැනි ඉනිම විශිෂ්ට ලෙස ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 487ක් හිමි කරගැනීමට සමත් විය. දෙවැනි ඉනිම වෙනුවෙන් ද අගනා ශතකයක් ලබාගත් ස්ටීව් ස්මිත් ලකුණු 142ක් හිමිකරගත්තේය. ඒ අනුව ඔහු සමස්ත තරගයේදීම ලකුණු 286ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමට තවත් ශතකයක් ඇතුළත් කරමින් මැතිව් වේඩ් ලකුණු 110ක් ලබා ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටොක් කඩුලු 3ක් හිමිකර ගත්තේය.

එංගලන්ත කණ්ඩායමට ලකුණු 397ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ නමුත් ඔවුන්ට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු ක්‍රීඩකයන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි. ඒ අනුව ලකුණු 251ක විශිෂ්ට ජයක් ඕස්ට්‍රේලියාවට හිමිවූ අතර පන්දුවෙන් දස්කම් දැක්වූ ඕස්ට්‍රේලියා දඟ පන්දු යවන ක්‍රීඩක නේදන් ලයන් කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් විය. තරගයේ වීරයා සම්මානය ස්ටීව් ස්මිත්ට හිමිවූ අතර පළමු තරගයේ ජයත් සමග තරගාවලියේ 1-0ක් ලෙස ඕස්ට්‍රේලියාව පෙරමුණ ගැනීමට සමත් විය. ලෝක ටෙස්ට් ශූරතාවලිය වෙනුවෙන් පැවැත්වෙන පළමු තරගය ලෙසද මෙය අයිසීසීය විසින් නම් කර තිබිණි.

(මූලාශ්‍ර හා ඡායාරූප – cricinfo)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *