අල් අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරයට විරුද්ධව රටවල් රැසක විරෝධතා

යුද්ධයක ම්ලේච්ඡත්වය පසක් කරමින් ගාසාහි රෝහලකට එල්ල වූ දරුණු ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු 500 දෙනෙකුට අධික පිරිසක් මරණයට පත් ව තිබේ.

ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලයට බැරවූවත් එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල හමුදා පවසන්නේ, ගාසාහි ක්‍රියාත්මක ජිහාඩ් සටන්කාමීන් ප්‍රහාරය එල්ල කළ බවයි.

මේ අතර, යුද්ධය දරුණු ලෙස පැතිරෙමින් පවතිද්දී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලය වෙත පැමිණියේය.

උතුරු ගාසාහි ගාසා නගරයේ අල් අහ්ලි ක්‍රිස්තියානි රෝහලට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල කෙරුණේ, යුද්ධයක ම්ලේච්ඡත්වය තහවුරු කරමිනි.

ඉන් දැනට වාර්තා වන මරණ ගණන 500කට අධිකය.

ප්‍රහාරය එල්ල වන විට රෝගීන් සහ ගාසා සරණාගතයන් දහස් ගණනක් එහි රැඳී සිටි බව හමාස් සංවිධානය පවසයි.

මේ අතර, අල් අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරය මේ වන අරාබි ලෝකය කලඹා තිබේ.

ප්‍රහාරයට එරෙහි ව ඊයේ රාත්‍රියේ සිට රටවල් රැසක විරෝධතා පැවැත්වුණු ආකාරය ද විදෙස් මාධ්‍යය වාර්තා කර තිබිණි.

මෙම කුරිරු ප්‍රහාරයේ වගකීම ඊශ්‍රායලය භාරගත යුතු බව හමාස් සංවිධානය සහ පලස්තීනය චෝදනා කරයි.

එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන ඊශ්‍රායල හමුදාව පවසන්නේ, ගාසාහි ක්‍රියාත්මක ජිහාඩ් සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයක් වැරදීමකින් රෝහලට පතිත වී ඇති බවයි.

එය සනාථ කරන බව පැවසෙන වීඩියෝවක් ද ඔවුන් නිකුත් කර තිබිණි.

එමෙන්ම ප්‍රහාරයට අදාළ ව ජිහාඩ් සංවිධානයට අයත් බව කියන හඬපටයක් ද මේ වන විට නිකුත් වී ඇත.

නමුත් එක්සත් ජාතීන් ගේ සංවිධානයේ පලස්තීන තානාපති රියාද් මන්සූර් මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේය.

මෙම දරුණු ප්‍රහාරය ඊශ්‍රායලය වෙත දැඩි පීඩනයක් එල්ල කර ඇති අතර, විචාරකයන් පවසන්නේ මෙය ඊශ්‍රායල – හමාස් යුද ගැටුමේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

මේ අතර, ඊයේ නිවේදනය කළ පරිදිම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද ඊශ්‍රායලයට පැමිණියේය.

සංචාරය අතරතුර ජනාධිපතිවරයා ජෝර්දානයට යාමට නියමිත ව පැවතියත් ප්‍රහාරයෙන් පසු එම සංචාරය අවලංගු කිරීමට ජෝර්දානය පියවර ගත්තේය.

එහි දී ඔහු පලස්තීන නායක මහමූද් අබ්බාස් සහ ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සිසීත් හමුවීමට සැලසුම් කර තිබිණි.

මේ අතර, ඊශ්‍රායලයේ සංචාරය අවසන් කළ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ආපසු පැමිණීමට නියමිත ව තිබිය දී ගුවන්තොටුපොළ සයිරන් නලා ශබ්ධ වීමෙන් කලබලකාරී තත්ත්වයක් උද්ගත විය.

එහි දී චාන්සලර්වරයා ගුවන් යානයෙන් ඉවත් කරගෙන තිබේ.

හමාස් සංවිධානය පසුගිය 07 වැනිදා ඊශ්‍රායලයට ඇතුළු වී එල්ල කළ ප්‍රහාරයෙන් එරට පුද්ගලයෝ 1,300ක් පමණ මිය ගියහ.

ඊට ප්‍රතිචාර ලෙස දින 12ක් තිස්සේ ගාසා තීරය වෙත එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 3,000කට අධිකය.

ඊට අමතර ව තවත් දහසකට අධික පලස්තීනුවන් පිරිසක් කඩාවැටුණු ගොඩනැඟිලිවල සුන්බුන් අතර සිර ව සිටින බව වාර්තා වේ.

මේ අතර, හමාස් ප්‍රහාරයෙන් මිය ගිය අනුලා ජයතිලක මහත්මිය ගේ මෘත දේහය දෙදිනක් තුළ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබා දීමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මේ අතර, ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද මෙරට පලස්තීන තානාපති කාර්යාලයේ දී එරට තානාපතිවරයා හමු විය.

මේ අතර, ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඊශ්‍රායල ජාතිකයින් රැගෙන යාම සඳහා විශේෂ ගුවන් වාරයක් ක්‍රියාත්මක කෙරිණි.

මේ අතර, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසුවේ, රට තුළ සාමාන්‍ය ජන ජීවිතය ක්‍රියාත්මක වන බැවින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ බිය විය යුතු නැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *