හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ ව අධිකරණය විසින් ලබාදෙන තීන්දු මත ඉදිරි කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කෙරුණු කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බලරහිත කිරීමේ නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති නීතිඥවරුන් වන ජේ. සී. වැලිඅමුණ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා මෙම දැනුම්දීම කළේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ කොමිසමේ නිර්දේශ සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගන්නා බවට අමාත්‍ය මණ්ඩලය දැනටමත් තීන්දු කර ඇති බවත් ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් දැනුම් දී ඇති බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ තම සේවාදායකයාගේ පෙත්සමට අදාළ ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවයි.
ඉන් අනතුරුව අදාළ පෙත්සම් නොවැම්බර් මස 21 දා විභාගයට ගැනීමට ද අධිකරණය නියම කළේය.
අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජිකයින් වන චන්ද්‍රා ප්‍රනාන්දු සහ චන්ද්‍රා ජයතිලක නම් කර තිබේ.
කිසිදු සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් එබැවින් ඒවා බලශූන්‍ය කිරීමේ නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබේ.