අම්දිගේ නිරෝගී දකුණු වකුගඩුව අතුරුදන් ?

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය තෙහැවිරිදි දරුවාගේ වම්පස වකුගඩුව පමණක් තම අංශය භාරයේ සුරක්ෂිතව තබා ඇති බව එම රෝහලේ වකුගඩු අංශය භාර විශේෂඥ වෛද්‍ය ශාන්තිනී ගුණරත්න මහත්මිය පැවසුවාය.

ඒ, කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ සාක්ෂි ලබාදෙමිනි.

එහිදී ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ නිරෝගී තත්ත්වයේ තිබූ බව කියන දකුණු වකුගඩුව තම අංශයට නොලැබුණු බවය.

දරුවාගේ මරණයට අදාළ සාක්ෂි විමසීම අධිකරණය හමුවේ පැවති අතර එහිදී බොරැල්ල පොලීසිය විමසන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

තම අංශය වෙත එවන ලද එම දරුවාගේ වම්පස වකුගඩුව ඇමෝනියා වතුරේ ගිල්වා තම අංශයේ සුරක්ෂිතව මේ වනවිට තබා ඇති බවද සාක්ෂි ලබාදෙමින් ඇය වැඩිදුරටත් පැවසුවාය.

රෝහලට ඇතුළත් කරන ලද එම දරුවාගේ දකුණු වකුගඩුව කිසිදු අසමානතාවයකින් තොරව නියමිත ස්ථානයේ තිබූ බව දරුවාගේ රෝග තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී හෙළිවී ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මලිත් සමරසිංහ මහතා මීට පෙර සාක්ෂි ලබාදෙමින් අධිකරණය හමුවේ පවසා තිබුණි.

දරුවාගේ වම් වකුගඩුවේ ක්‍රියාකාරිත්වය සියයට 09ක් ලෙසත්, දකුණු වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සියයට 91ක් ලෙසත් ක්‍රියාත්මකව තිබූ බවද රෝහල් අධ්‍යක්ෂකවරයා සිය සාක්ෂිය මගින් වැඩිදුරටත් පවසා තිබේ.

ශල්‍යකර්මයේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් දරුවාගේ එක් වකුගඩුවක් ඉවත්වී ඇති බවට රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරන නමුත් එක් වකුගඩුවක් පමණක් තිබූ බවට අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තාවේ සඳහන්ව තිබීම අපැහැදිලි කාරණයක් බවද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි වෛද්‍යවරයකු මෙන්ම නීතිඥවරයෙකු වන වයි. එල්. එම්. යූසුෆ් මහතා මීට පෙර නඩු වාරයකදී අධිකරණය හමුවේ පවසා තිබුණි.

කොටහේන ප්‍රදේශයේ පදිංචි අම්දි ෆස්ලිම් නමැති තෙහැවිරිදි දරුවකු එසේම ගොස් ඇති අතර තම දරුවාගේ මියයෑම සැකසහිත බවට ඔහුගේ මවුපියන් බොරැල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම නඩුව විභාගයට ගැනුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *