අභියෝග ජයගත් සමෘද්ධිමත් මාතෘභූමිය යන තේමාව යටතේ ශ්‍රී ලංකාව 74 වැනි ජාතික නිදහස් දිනය සැමරීමට සැලසුම්

74 වැනි නිදහස් දින සැමරුම – 2022 සංවිධානය කිරීමේ කමිටුවේ පළමු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (29) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

‘අභියෝග ජයගත් සෞභාග්‍යමත් මාතෘභූමිය’ යන තේමාව යටතේ 74 වැනි ජාතික නිදහස් දින උත්සවය පෙබරවාරි 04 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී අභිමානවත් ලෙස පැවැත්විය යුතු බවට එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.

74 වැනි ජාතික නිදහස් දිනය සැමරීම සඳහා තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු සියලුම රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට ආරාධනාවක් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාට උපදෙස් දුන්නේය.

ප්‍රාදේශීය විශේෂ අමුත්තන්ට ආරාධනා කිරීමේ වගකීම වාරිමාර්ග අමාත්‍ය සහ ස්වදේශ කටයුතු, ජාතික ආරක්ෂක සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට පැවරිණි.

74 වැනි නිදහස් දින සැමරුම සාර්ථක කර ගැනීම සඳහා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල වගකීම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

සාමාන්‍යයෙන් නිදහස් දිනයට පෙර දින පැවැත්වෙන සාම්ප්‍රදායික පරිත්‍රාණ ධර්ම දේශනාව 2022 පෙබරවාරි 02 වැනි දින නිදහස් මන්දිරයේදී පැවැත්වීමට තීරණය කර ඇත.

නිදහස් දිනයට සමගාමීව පැවැත්වෙන බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික සහ ක්‍රිස්තියානි ආගමික වතාවත් සඳහා පූජනීය ස්ථාන සහ වේලාවන් නිර්දේශ කිරීමේ කාර්යය බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වෙත පවරා ඇත.

නිදහස් දින උත්සවයට සමගාමීව පැළ ලක්ෂ පහක් සිටුවීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කෙරේ.

නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව උත්සවවලට සහභාගි විය යුත්තේ සම්පූර්ණයෙන් එන්නත් ලබා ගත් අය පමණක් බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *