අපරාධකරුවන් සොයාගැනීමේ ප්‍රභල සාක්ෂිය නොහොත් “ඇඟිලි සලකුණ”

Share this Article

ඒ 1893 වසරේ ජුනි මස 19 වන දිනයයි. ආජන්ටිනාවේ නෙකොකියා නම් කුඩා ගම්මානයේ ජීවත් වූ තරුණ ෆ්‍රැන්සිස්කා රොජස් මහත්මියගේ කුඩා දරුවන් දෙදෙනාට මරණය උරුම කරමින් එදින මල හිරු බැස ගියේය. ප්‍රදේශයේ පොලිස් ස්ථානයට ඇය සාක්ෂි ලබා දුන්නේ තම දරුවන්ගේ මරණය සම්බන්ධයෙන් අසළ ගොවිපළක සේවය කරන වෙලාස්ක්වස් නම් මිනිසාව සැක කරන බවයි.  වැන්දඹුවක් වූ රොජස්  මහත්මිය ඔහු හා විවාහ වීම ප්‍රතික්ෂේප කළ නිසා, මීට පෙර අවස්ථාවක දරුවන් දෙදෙනා මරා දමන බවට ඔහු තර්ජනය කර ඇත. තවදුරටත් සාක්ෂි ලබා දෙමින් ඇය පැවසුවේ තමා රැකියාව අවසන් වී නැවත නිවසට පැමිණෙන විට වෙලාස්ක්වස් තම නිවසින් පිටවනු දුටු බව සහ කිසිඳු කතා බහක් නොමැතිව ඔහු තමා පසු කර ගමන් කළ බවයි. නිවසට පැමිණි ඇයට දැක ගත හැකි වූයේ නිදන කාමරයේ මිය ගොස් සිටි දරුවන් දෙදෙනායි. මේ සම්බන්ධයෙන් වෙලාස්ක්වස් අත්අඩංගුවට ගත් නමුත් ඔහු සියලු චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහුට කෙතරම් වධ හිංසා පැමුණුව ද රාත්‍රියක් එළිවන තුරු මළ සිරුරු අසල රඳවා තැබුව ද ඔහුගේ පිළිතුරේ වෙනසක් සිදු නොවිණි. දරුණු ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක් කර සතියක් අවසානයේ ද ඔහු චෝදනා ප්‍රතික්ෂේප කළේය. තවදුරටත් විමර්ශන සිදු කළ පොලීසියට අනාවරණය වූයේ දරුවන් නොමැතිව ඇයව විවාහ කර ගැනීමට කැමැත්තෙන් සිටි තරුණ ප්‍රේමවන්තයෙක් රොජස් මහත්මියට සිටින බවයි. එතැන් සිට විමර්ශකයන්ගේ සැකය යොමු වූයේ දරුවන්ගේ මව වෙතයි. පොලිස් පරීක්ෂක ඇල්වාරේස් යටතේ තවදුරටත් පරීක්ෂණ සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස අනාවරණය වූයේ මරණය සිදු වන විට වෙලාස්ක්වස් සහ රොජස් මහත්මියගේ ප්‍රේමවන්තයා සිටියේ වෙනත් ස්ථානයක බවයි. අපරාධ ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමේදී රුධිරය සහිත ඇඟිලි සටහන් නිවසේ දොර මත තිබී සොයා ගනු ලැබිණි. දොරේ සටහන් වූ ඇඟිලි සලකුණු සමග වෙලාස්ක්වස් සහ රොජස් මහත්මියගේ ඇඟිලි සටහන් පරීක්ෂාව සඳහා “ලා ප්ලේටා හඳුනා ගැනීමේ කාර්යංශය” වෙත යැවිණි. රුධිරය සහිත ඇඟිලි සටහන් මවගේ බව තහවුරු විය. මෙම සාක්ෂ්‍ය හමුවේ මව පාපොච්චාරණය කළාය.

අපරාධ විසඳීමේදී වැඩි පිළිගැනීමක් නොලද ඇඟිලි සලකුණු, ඝාතකයා සොයා ගැනීමේ තීරණාත්මක සාධකය විය. මෙතැන් පටන් අපරාධ විසඳීමේදී ඇඟිලි සටහන් සාක්ෂ්‍ය  භාවිත වීම පිළිගත් ක්‍රමයක් බවට පත් විය. එදායින් ඇරඹුණු මේ අද්විතීය ගමන් මග තවමත් නොනැවතී ඉදිරියට යමින් පවතියි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධියට පත් රෝයල් පාක් මිනීමැරුම සම්බන්ධයෙන් වූ නඩු විභාගයේදී, 2019.04.21. දින සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් සහ නාඳුනන මළ සිරුරු හඳුනා ගැනීමේදී ඇතුළු තවත් බොහෝ අවස්ථාවල ඇඟිලි සලකුණු  අතිශය තීරණාත්මක සාක්ෂ්‍යක් විය. ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු නොවුන ද අපරාධ විසඳීමේදී සහ පුද්ගලයන් හඳුනා ගැනීමේදී අප දන්නා හඳුනන ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ හඳුනාගැනීමේ අංශය (FBI identification division)  සේම ශ්‍රී ලංකා අපරාධ වාර්තා කොට්ඨාසයේ  ඇඟිලි සටහන් කාර්යාංශය වර්ෂ 1908 සිට මේ දක්වා  නිහඬ සේවයක දී සිටී.

සම නිවුන් සොයුරන් දෙදෙනෙකුගේ පවා DNA අණු සමාන වන වුවද ඇඟිලි සටහන් කිසි විටෙක සමාන නොවේ. මිනිස් සිරුරේ විශාලතම ඉන්ද්‍රිය වන සමෙහි කුඩා ප්‍රදේශයකට පමණක් සීමා වූ අත් පා වල ගොරෝසු සම මත ස්වභාව ධර්මය විසින් නිර්මාණය කළ රටා අතර බිහිවුණු ඇඟිලි සලකුණු විද්‍යාව ඉතා රසවත් ගැඹුරු විෂය ක්ෂේස්ත්‍රයකි.

ඇඟිලි සළකුණු සහ අත් පා වල ගොරෝසු සම සුවිශේෂී ශරීර අංගයක් ලෙස හැඳින්විය හැකිය. ශරීරයේ අනෙකුත් ස්ථාන ආවරණය කරන සමට වඩා බාහිර පෙනුමින්, අත්ලේ සහ යටි පතුලේ පිහිටි ගොරෝසු සම වෙනස්කම් දැක්වීම දක්ෂ නිරීක්‍ෂකයන්ට සිතන්නට යමක් ශේෂ කළේ අද ඊයෙක සිට නොවේ. මානව සංහතියේ ආරම්භය දක්වාම එහි ඉතිහාසය දිව යනවා.

මනුෂ්‍ය වර්ගයාගේ ආරම්භයේ සිට මේ දක්වා “ඇඟිලි සලකුණු”  නියත ආකාරයෙන්ම පැවතිණි. මිනිසුන් මිහිමත ජීවත් වූ යුගය පුරාවට ඇඟිලි සලකුණු වෙනස්කමකට භාජනය නොවී පැවතුන නමුත් පරිණාමය සමග අත්ලේ සහ යටි පතුලේ සම අධ්‍යනය කිරීමේ සහ තේරුම් ගැනීමේ අවශ්‍යතාවය මිනිසාට මතු විය. ඈත අතීතයේ, අත්ලේ සහ යටි පතුලේ සම, කැපී පෙනෙන ලක්ෂණ සහ රටා සහිත ශරීර ආවරණයක් ලෙස සරලව හඳුනා ගත්තත් අද වන විට ඒවාට සුවිශේෂී වූ මෙහෙයක් ඇති බව අපි වටහාගෙන සිටිමු. ස්වභාව ධර්මයේ අයත් අන් සියලු දෙයට සේම මිනිසුන් වන අපට ද  අපටම ආවේණික ලක්ෂණ උරුමව ඇත. ඇඟිලි සළකුණු මේ අතරින් එකකි. එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස්කම් දක්වන මේ ඇඟිලි සලකුණු මිනිසුන් අතර පමණක් නොව වානරයන් අතරද නිරීක්ෂණය කළ හැකිය. වර්ෂ 1823 දී ජෝහැනස් එවාන්ගෙලිස්ටා පර්කින්ජි (Johannes Evangelista Purkinje) විසින් මෙය ප්‍රථමයෙන් නිරීක්ෂණය කොට ලේඛනගත කර ඇත. මෙයට පෙර ඇඟිලි සලකුණු සහ අත්ල සලකුණු සටහන් තබා ඇති අවස්ථා හමු වුවද නිසියාකාර අධ්‍යනයක් සිදු වී ඇති බවට සාක්ෂ්‍ය නොමැත. කෙසේ හෝ ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් භූමි වලින් හමුවූ ලේඛනගත සාක්ෂි මෙන්ම ලොව පුරා සිදු කළ ගවේෂණවලින්ද තහවුරු වන්නේ, එකල අනන්‍යතාව හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස; විශේෂයෙන්ම මනෝ විද්‍යාත්මක සහ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි ආදියේදී ඇඟිලි සලකුණු භාවිතා කොට ඇති බවයි.

ඊජීප්තුවේ මමිවල, මෙසපොතේමියාවෙන් හමුවූ කෞතුක වස්තුවල සහ කැනඩාවේ නෝවා ස්කොටියා (Nova Scotia) ප්‍රදේශයෙන් හමුවූ ලෙන් සිතුවම් වලින් ද ඇඟිලි සලකුණු හමුවූ බවට පැහැදිලි ලේඛනගත සාක්ෂි හමුවේ. මීට අමතරව ටැන් රාජවංශයට අයත් චීන ලේඛනවලද ඇඟිලි සලකුණු හමුවේ. ව්‍යාපාර කටයුතුවලදී ඇඟිලි සලකුණු අත්සනක් ලෙස භාවිත වූ බවට එම ලේඛන අඟවයි.

ඇඟිලි සලකුණු ඉතිහාසය පිළිබඳ පසු විපරමක්

ජෙරිකෝ (ක්‍රි.පූ. 700) පුරාණ  නගරයෙන්  හමුවූ නව ශිලා යුගයට අයත් ගඩොල් මත මහපට ඇඟිල්ලේ සටහන් තබා තිබේ. මේ පිළිබඳව ඩේම් කේ. කෙන්යන්  විසින් රචිත “Archeology of the Holy Land” කෘතියේ සඳහන් වේ. වයඹදිග යුරෝපයේ අයර්ලන්ත ජනරජයේ නිව් ග්‍රේන්ජ් ප්‍රදේශයේ සහ ප්‍රංශයේ බ්‍රිටනි ප්‍රදේශයෙන් හමුවූ පුරාවස්තුවල (ක්‍රි. පූ. 3000) ඇඟිලි සලකුණු සහිත කැටයම් හමුව ඇත. සොහොන් ගැබ්වල අභ්‍යන්තරයේ සහ සොහොන් ගෙවල්වල ඇඟිලි සලකුණු වැටිවල රූප ඇත. මෙය කලාශිල්පීන්ට අත්වැරදීමකින් සිදුවූ බව සමහරු විශ්වාසය කළත් ස්ටෝකිස් න්‍යායට අනුව, මෙම ඇඟිලි සලකුණු සටහන් කිරීම හිතාමතා සිදු කර ඇත. ක්‍රි.පූ. 1955 සහ 1913 අතර කාලයේ බැබිලෝනියාවේ ගිවිසුම් අත්සන් කිරීමට ඇඟිලි සටහන් යොදා ගෙන ඇත.

ක්‍රි.ව. 600ත් 700ත් අතර කාලය තුළ ඇඟිලි සටහන් යොදා ගැනීම පිළිබඳව චීනයෙන් වාර්තාවේ. ටැන් රාජ්‍ය සමයේ ජීවත්වූ ඉතිහාසඥයෙක් වන කියා කුන් යෙන්  සඳහන් කරන්නේ ගිවිසුම් සහ නෛතික ලේඛන අත්සන් කිරීමට ඇඟිලි සලකුණු යොදා ගත් බවයි. එසේම, යන්ග් හ්වී  නම් නීති පොතට අනුව දික්කසාද වීමට සැමියා විසින් ඊට හේතු දක්වා ලිපියක් ඉදිරිපත් කළ යුතුය. සියලු ලිපි තම අත් අකුරින් ලිවිය යුතු අතර, එසේ ලිවිය නොහැකි නම් තම ඇඟිලි සලකුණු වලින් අත්සන් කළ යුතුය.

අතීතය සලකා බැලීමේදී අපට පෙනී යන්නේ, ඇඟිලි සලකුණු පිළිබඳ පැහැදිලි උනන්දුවක් මිනිසාට තිබුණු බවයි. නමුත් වර්තමානයේ ඇඟිලි සලකුණු විද්‍යාවේ සිදු වූ පර්යේෂණ එයට හිමි ස්ථානය ඉතිහාසයේ ඔසවා තැබීමට වඩාත් බලපෑවේය.

ඇඟිලි සලකුණු විද්‍යාව ක්‍රමිකව වර්ධනය වූ අතර ඊට දායක වූ බොහෝ දෙනෙක් ඉතිහාසය පුරාවට සිටි. වෛද්‍ය නෙහිමියා ගෘ (ක්‍රි.ව. 1684)  අත්ලේ සහ පතුලේ වැටි පිහිටීම ඒවායේ රූප සටහන් සමග ඉදිරිපත් කළ පළමු පුද්ගලයා වේ. මාර්සෙලෝ මැල්ෆිගි (ක්‍රි.ව.1686) විසින් අත්ල සහ පතුල් සටහන් අතර ඇති සුළි සහ පුඩු යන රටා හඳුනා ගත්තේය. ඔහුගේ සේවයට ඇගයීමක් ලෙස සමේ ස්ථරයක් මැලිෆිගියන් ස්ථරය ලෙස නම් කර ඇත. පුද්ගලයන් දෙදෙනෙකුගේ සමේ වැටිවල සැකැස්ම කිසිවිටෙක සමාන නොවන බව මුලින්ම ප්‍රකාශ කළේ ජර්මානු විද්‍යාඥ ජේ.සී. ඒ. මේයර් මහතාය. ජෝහැනස් පර්කින්ජි මහතා විසින් අත්ල සහ පතුල් සටහන් වර්ගීකරණය කළේය. යටත් විජිත සමයේ ඉන්දියාවේ බෙන්ගාල ප්‍රාන්තය භාරව කටයුතු කළ සර් විලියම් හර්ෂල්, රාජකාරී කටයුතු  සඳහා මහා පරිමාණයෙන් ඇඟිලි සටහන් යොදා ගත් පළමු පුද්ගලයා ලෙස වාර්තා වේ. ඒ ඉන්දියානු ස්වදේශිකයන් ලවා ගිවිසුම් අත්සන් කර ගැනීම සඳහාය. නමුත් සාර්ථක ඇඟිලි සලකුණු වර්ගීකරණයක් පිහිටු වීමට ඔහු අසමත් විය. ඩාර්වින්ගේ ඥාති සොහොයුරෙකු වන සර් ෆ්‍රැන්සිස් ගොල්ටන් අත්ල සහ පතුල් සටහන් නිරීක්ෂණය කරමින්  “Finger Prints” නම් කෘතිය රචනා කළේය.  එහි සඳහන් වන පරිදි, ඇඟිලි සටහන් ජීවිතය පුරාවට නොවෙනස්ව පවතියි. එසේම එහිදී ඇඟිලි සටහන් පුඩු, සුළි සහ වක්‍ර ආදී ලෙස වර්ග කිරීමට ප්‍රථම වතාවට විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය. වැටි ලක්ෂණ පෙන්වා දීමත් ඇඟිලි සටහන් ලබා ගැනීමට ක්‍රමවේදයක් හඳුන්වා දීමත් ඔහු අතින් සිදු විය. සර් එඩ්වර්ඩ් හෙන්රි විසින් අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා ඇඟිලි සලකුණු භාවිත කිරීමේ ක්‍රමය ස්කොට්ලන්ඩ්යාඩ් පොලීසියට හඳුන්වා දුන්නේය. එසේම වර්තමානයේ ලොව පුරා භාවිත වන ඇඟිලි සටහන් පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමේ ගෞරවයද ඔහුට හිමිවේ.

වර්තමානය වන විටඇඟිලි සලකුණු විද්‍යාව පරිඝනක තාක්ෂණය පවා භාවිත කරමින් ස්වංක්‍රීය ඇඟිලි සටහන් හඳුනාගැනීමේ ක්‍රමවේදය (Automated Fingerprint Identification System- AFIS) පවා භාවිත කරමින් සිටී. තාක්ෂණය ඔස්සේ මේ අතුල් පතුල් රේඛාවන් අතර සැඟවුණු රහස් සොයමින් නවමු මානයන් කරා යොමුවන්නට ඇඟිලි සලකුණු විශේෂඥයින්ට නුදුරේදීම හැකි වනු ඇත.

ලිපිය: ධනුෂ්කා ශිල්පානි විසින්.
මූලාශ්‍ර: මාර්ක් ආර්. හෝතෝන්ගේ Fingerprints – Analysis and Understanding කෘතිය ඇසුරෙනි


Share this Article

Leave a Reply

Your email address will not be published.