ශ්‍රී ලාංකිකයකු වන අනෝජන් සිවරාසාට සෞදි අරාබියේදී නියම කළ මරණ දඬුවමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සකස් කර අවසන් කර ඇති අතර, එය කඩිනමින් ගොනු කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් සහභාගි වූ සාකච්ඡාවලින් අනතුරුව මෙම අභියාචනය අවසන් කර තිබේ.
නබි මුහම්මද්තුමාට අපහාසයක් ලෙස සැලකුණු ෆේස්බුක් සටහනක් පළ කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ අභියාචනාධිකරණයක් විසින් සිවරාසාට මරණ දඬුවම නියම කරනු ලැබීය.
මීට පෙර පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබූ අතර, රජයේ නඩු පවරන්නා ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කර තිබේ.
චෝදනාවට අදාළ වරද ඉස්ලාමීය නීතිය යටතේ දෙවියන්ට එරෙහි වරදක් ලෙස සැලකෙන “හද්” (Hadd) ගණයට අයත් වරදක් ලෙස අධිකරණය වර්ගීකරණය කර ඇත.
එම තීන්දුවෙන් පසුව, සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා සහාය වීමට ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට ගොස් තිබේ. එහිදී සිවරාසාගේ නඩුවට අදාළව කටයුතු කරන නීතිඥවරුන් සමඟ වට කිහිපයක සාකච්ඡා පවත්වා නීතිමය කරුණු සහ අභියාචනා ලේඛන සකස් කිරීම අවසන් කිරීමට සහාය වී ඇත.
සෞදි අරාබියේ ඉහළම අධිකරණ බලධාරියා වන එරට ශ්‍රේෂ්ඨාධිකරණය, පහළ අධිකරණවල තීන්දු ප්‍රධාන වශයෙන් නීතිමය සහ ක්‍රියාපටිපාටිමය පදනම් මත සමාලෝචනය කරයි.
ශ්‍රී ලංකා නීතිඥ කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාඩ් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු ඇතුළත් වූහ.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ්, ජෙඩාහි කොන්සල් ජනරාල් විනිසුරු මොහොමඩ් ලෆාර් සහ සිල්මි රියාස්දීන් ද මෙම ක්‍රියාවලියට එක්ව සිටියහ.
අනෝජන්ගේ නඩුව සම්බන්ධයෙන් ගන්නා උත්සාහයන් අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබියදී, තානාපති අජ්වාඩ් මහතා මීට පෙර බන්ධනාගාරයට ගොස් ඔහුගේ සුවදුක් විමසා තිබිණි.
මරණ දඬුවමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ මීළඟ පියවර ලෙස, සකස් කර අවසන් කළ අභියාචනය කඩිනමින් සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


