අනුරට මඩ ගැසූ අය අල්ලනු

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට  සුදුසු පුද්ගලයකු නොවන බවට  සමාජය තුළ  මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිපියක්  ජනපතිවරණයට පෙර සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සැකකරුවන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළණ ගමගේ මහතා රහස් පොලිසියට නියෝග කළේය.

ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට නුසුදුසු බවට  ජනතාව තුළ මතයක් පැතිරවීමට හා ජාතික ජන බලවේගය අප කීර්තියට පත් කිරීමට ද්වේශ සහගතව හා වංචනිකව  ජාතික ජන බලවේග ලිපි ශීර්ෂය  සහිතව මුහුණු පොතේ ලිපියක් පළ කිරීම   සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන ප්‍රගතිය අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාර පොලිස් නිලධාරීන්  මෙසේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝග නිකුත් කළේය.

ජාතික ජන බලවේගයේ නීතිඥ සුනිල් වටගල මහතා  සැප්තැම්බර් 12 වැනි දින රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම  විමර්ශනය ආරම්භ කර ඇත.

ජාතික ජන බලවේගය ලිපි ශීර්ෂය යටතේ නීතිඥ සුනිල් වටගල මහතා විසින් 2024 සැප්තැම්බර් 10 වෙනි දින කොළඹ පෞද්ගලික රෝහලක් අමතා සකස් කරන ලද ලිපියක් බවට හැඟී යන පරිදි මෙම ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍යයේ පළ කර ඇති අතර එම ව්‍යාජ ලිපිය සමාජගත කිරීම තුළින් අනුර කුමාර දිසානායක මහතා කොළඹ පුද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබාගත් රෝගියකු බවට හැඟී යන පරිදි  පොදු මහජනයා තුළ යම් තහවුරු කිරීමක් සිදුකිරීමට වෙර දරා ඇති බවත්,අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව සමාජය තුළ අවිශ්වාසයක් අප්‍රසාදයක්,ජනපති ධුරයට නුසුදුසු බවට මතයක් ඇති කිරීමට වංචනික චේතනාවෙන් ලිපිය පළ කර ඇති බව සුනිල් වට කළ මහතා රහස් පොලිසියට පැමිණිලි කර කරමින් සඳහන් කර ඇත.

සුභාග හේරත් හා ඩී. වන්නිආරච්චි නමැති ව්‍යාජ ෆේස්බුක් ගිණුම් හරහා මෙම  ව්‍යාජ තොරතුරු පලකර ඇති බවට සුනිල් වටගල මහතා විසින් රහස් පොලිසියට පැමිණිලි කර ඇති අතර එම ව්‍යාජ ෆේස්බුක් ගිණුම් ප්‍රතිවාදී පක්ෂය දෙකක පුද්ගලයින් පලකර ඇති බවත්  පැමිණිලි කර ඇත.

සුනිල් වටගල මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශන ප්‍රගතිය පිළිබඳව රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුවන් අනාවරණය වන්නේ නම් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස දන්වමින් විමර්ශන ගොනුව සේප්පුවේ තිබීමට නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *