සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතාගේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමක් සහ සෞදි අරාබියේ නීතිඥයන් අතර පැවති සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව මෙම අභියාචනය සකස් කර තිබේ.
අදාළ නීතිමය කටයුතු රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සම්බන්ධීකරණය කර ඇත.
මුහම්මද් නබිතුමාට අපහාසයක් ලෙස සැලකූ සමාජ මාධ්‍ය සටහනක් පළ කිරීම සම්බන්ධයෙන් සෞදි අරාබියේ අභියාචනාධිකරණයක් විසින් සිවරාසා මහතාට මරණ දඬුවම නියම කර තිබිණි.
මීට පෙර පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබූ අතර, පසුව ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලූ අභියාචනාධිකරණය එම තීන්දුව අවලංගු කර මරණ දඬුවම නියම කර තිබේ.
ඉන් අනතුරුව, අභියාචනය සකස් කිරීම සඳහා සහාය වීමට ශ්‍රී ලංකාවේ විශේෂ නීතිඥ කණ්ඩායමක් සෞදි අරාබියට ගොස් ඇත.
එම ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායමට අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ අසාර්ඩ් නවාවි, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා, ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු ඇතුළත් වූහ.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මහතා, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු මොහොමඩ් ලාෆිර් මහතා සහ සිල්මි රියාස්දීන් මහතා ද මෙම නීතිමය කටයුතු සම්බන්ධීකරණයට දායක වී තිබේ.
මේ අතර, සෞදි අගනුවර වන රියාද්හි මෑතකදී සිදු වූ ප්‍රහාර හේතුවෙන් නියමිත පරිදි ශ්‍රී ලංකාව බලා පැමිණීමට තිබූ ගුවන් ගමන අවලංගු වීම නිසා ශ්‍රී ලාංකික නීතිඥ කණ්ඩායම මේ වන විට රියාද්හි රැඳී සිටින බව වාර්තා වේ.
සෞදි අරාබියේ ඉහළම අධිකරණ බලධාරියා වන ශ්‍රේෂ්ඨාධිකරණය, ප්‍රධාන වශයෙන් පහළ අධිකරණවල තීන්දු නීතිමය හා ක්‍රියාපටිපාටිමය පදනම් මත සමාලෝචනය කරයි.


