“අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාව පිළිබඳ අවබෝධය ඇති කිරීමට අධ්‍යාපනය ප්‍රබල මෙවලමක්” අගමැතිනි කියයි

අන්‍යෝන්‍ය ගෞරවය සහ සමානාත්මතාව පිළිබඳ මහජන අවබෝධයක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනය ප්‍රබලතම මෙවලමක් බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මුස්ලිම් පාසල් සංවර්ධන ශාඛාව විසින් සංවිධාන කළ 2026 මිලාද් උන් නබි සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

විවිධ ජනවර්ග, භාෂා, සංස්කෘතීන් සහ ආගම් නියෝජනය කරන මිලියන 21.7කට අධික ජනතාවක් ජීවත් වන ශ්‍රී ලංකාව විවිධත්වයෙන් යුත් රටක් බවත්, එම විවිධත්වය රටේ විශාලතම ශක්තීන් අතරින් එකක් ලෙස සැලකිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

“සෑම පුරවැසියෙකුටම සමාන ගෞරවයක්, සමාන අවස්ථා සහ රාජ්‍ය සේවාවන් සඳහා සමාන ප්‍රවේශයක් හිමිවන ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අපගේ දැක්මයි,” යනුවෙන් ඇය සඳහන් කළාය.

සමාජ සංචලනය සහ සමානාත්මතාව ළඟා කර ගැනීම සඳහා අධ්‍යාපනය ප්‍රධාන මෙවලමක් බව රජය විශ්වාස කරන බවද ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් පවුල් පසුබිම නොසලකා දරුවන්ට උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

එමෙන්ම පාසල් තුළදී සිසුන්ට එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා කිරීමට මෙන්ම තමන්ගේ සංස්කෘතිය පිළිබඳවත් අනෙකුත් ප්‍රජාවන්ගේ සංස්කෘතීන් පිළිබඳවත් ඉගෙන ගැනීමට අවස්ථාව ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

රජය හඳුන්වා දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණ නව විෂයමාලා හඳුන්වාදීම පමණක් නොව, ඉගැන්වීම් සහ ඉගෙනුම් ක්‍රමවේදවලද වෙනස්කම් ඇති කිරීම බව ඇය පැවසුවාය.

“මේ හරහා අපගේ අරමුණ වන්නේ ප්‍රායෝගිකව සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සිසුන් තුළ ඇති කිරීමයි,” යනුවෙන් ඇය සඳහන් කළාය.

සියලු දෙනාට සමගියෙන් හා ගෞරවයෙන් ජීවත් විය හැකි සමාජ ක්‍රමයක් සඳහා දායක විය හැකි අනාගත පුරවැසියන් බිහිකිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මූලික අරමුණක් බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

බරපතළ දේශපාලන, ආර්ථික සහ මානුෂීය අභියෝගවලට ලෝකය මුහුණ දෙමින් සිටින වත්මන් අවස්ථාවේදී නබි මුහම්මද්තුමාගේ ඉගැන්වීම් සහ ආදර්ශය විශේෂයෙන් වැදගත් වන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අරාබි සහ ඉස්ලාමීය ශිෂ්ටාචාරය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එස්. එම්. තාමීම්, මේජර් එන්. ටී. නසුමුදීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් පිරිසක් මෙම සැමරුම් උත්සවයට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *