ඉදිරි දිනවල සරණාගතයන් ලක්ෂයක් මුහුදු මාර්ගයෙන් මෙරටට ඇතුළු වනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) පැවසීය.
මියන්මාර් රෝහින්ග්‍යා සරණාගතයන් සම්බන්ධයෙන් දැක්වූ අදහසකට පිළිතුරු දෙමින් එසේ සඳහන් කළ ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.
මියන්මාර් අනවසර සංක්‍රමණිකයන් 116ක් මේ වන විට අපේ රටට ඇතුළු වී සිටිනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරනවා. ඔවුන් මුදල් ගෙවා මේ ජාවාරමට සම්බන්ධ වෙලා තිබෙන බව පොලිසිය වාර්තා කරනවා. ආපු බෝට්ටුවට ඒ රටේ මුදලින් ලක්ෂ 500ක් ගෙවා තිබෙනවා. ඊට අමතරව ගමනාගමනය සඳහා තවත් ලක්ෂ 800ක් ගෙවලා. ඔවුන් සරණාගතයන් නම් ජාත්‍යන්තර නීතිය අනුව අපි කටයුතු කරන්න සූදානම්. ඒ අයට අවශ්‍ය කෑම බීම සහ අනෙකුත් පහසුකම් ලබා දෙනවා.
පොලිසිය සහ බුද්ධි අංශ වාර්තා කරන විදිහට මෙවැනි අනවසර සංක්‍රමණිකයන් ලක්ෂයක් ඉදිරි දිනවලදී අපේ රටට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙය අපේ රටේ සමාජීය ප්‍රශ්නයක් ලෙස අපි හඳුනා ගන්නවා. ඔවුන් සරණාගතයන් ලෙස හඳුනා ගන්නවා නම් ඔවුන්ට අවශ්‍ය සියලු මානුෂීය ආධාර ඇතුළු අනෙකුත් ආධාර දෙනවා. දැනටත් සිටින අයට අවශ්‍ය සියලු පහසුකම් දෙනවා.
දැනට මෙරටට පැමිණ සිටින සරණාගතයන් ඔවුන්ගේ රටටම නැවත පිටුවහල් කිරීම අපරාධයක් බවත් ඔවුන් වෙනත් රටකට පිටුවහල් කරන ලෙසත් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කීය.
ඔවුන් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් පියවරක් ගෙන නැතත් මියන්මාරය සමග මේ වන විට සාකච්ඡා කරන බව ඊට පිළිතුරු දෙමින් ආනන්ද විජේපාල ඇමැතිවරයා සඳහන් කළේය.