අද අලුයම අහසේ ග්‍රහලෝක හයක් – උල්කා වර්ෂාවක්ද දැකගැනීමේ අවස්ථාව

බුධ, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක හය අද (12) අලුයම නැගෙනහිර සහ දකුණු අහසේ චාපයක ආකාරයෙන් දැකගත හැකි බව ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසයි.

තාරකා විද්‍යාඥයන් මෙවැනි දර්ශනයක් “ග්‍රහලෝක පෙරහැරක්” (Planet Parade) ලෙස හඳුන්වන අතර, මෙය වැදගත් ආකාශ වස්තු සංසිද්ධියක් ලෙස සැලකේ.

මෙම ග්‍රහලෝක හයෙන් හතරක් දුරේක්ෂයකින් තොරව පියවි ඇසින් දැකගත හැකි වන අතර, යුරේනස් නිරීක්ෂණය කිරීම සඳහා දුරදක්නයක් අවශ්‍ය වේ. නෙප්චූන් දැකගැනීමට දුරේක්ෂයක් භාවිත කළ යුතුය.

ග්‍රහලෝක පෙරහැර නිරීක්ෂණය කිරීමට හොඳම අවස්ථාව හිරු උදාවට පෙර විනාඩි 60ත් 90ත් අතර කාලය බව තාරකා විද්‍යාඥයෝ පවසති. නැගෙනහිර ක්ෂිතිජයේ සිට දකුණු අහස දෙසට නිරීක්ෂණය කළ යුතු අතර, අගෝස්තු මැද භාගයේ කොළඹට හිරු උදාව පෙරවරු 6.00ට පමණ සිදුවන බැවින් අලුයම 4.30ත් 5.15ත් අතර කාලය ඒ සඳහා වඩාත් සුදුසු වේ.

අඟහරු සහ සෙනසුරු සාපේක්ෂව පහසුවෙන් හඳුනාගත හැකි වුවද, බුධ සහ බ්‍රහස්පති නැගෙනහිර ක්ෂිතිජයට ඉතා පහළින් දිස්වන බැවින් හිරු උදාවට ආසන්න වන විට ඒවා නිරීක්ෂණය කිරීම තරමක් අපහසු විය හැකිය.

ශ්‍රී ලංකාව සමකයට ආසන්නව පිහිටීම හේතුවෙන් මෙම ග්‍රහලෝක පෙළගැස්ම නිරීක්ෂණය කිරීමට මෙරටට සාපේක්ෂව හිතකර තත්ත්වයක් පවතින බවද ආයතනය සඳහන් කරයි.

මේ අතර, තවත් වැදගත් තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් වන පර්සීඩ් උල්කා වර්ෂාවද අද රාත්‍රියේ සිට හෙට (13) අලුයම දක්වා එහි උපරිමයට ළඟාවීමට නියමිතය.

පර්සීඩ් උල්කා වර්ෂාව 109P/Swift-Tuttle ධූමකේතුවෙන් නිකුත් වූ සුන්බුන් හේතුවෙන් ඇතිවන අතර, එම ධූමකේතුව 1862දී සොයාගෙන ඇති අතර සූර්යයා වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට වසර 133ක් පමණ ගත කරයි. මෙම උල්කා වර්ෂාව පර්සියස් තාරකා මණ්ඩලය පිහිටි දිශාවෙන් ආරම්භ වන බව පෙනේ.

මෙවර පර්සීඩ් උල්කා වර්ෂාවේ උපරිම අවස්ථාව නව සඳ සමඟ සමපාත වීම හේතුවෙන් අහස වඩාත් අඳුරු වන අතර, උල්කා නිරීක්ෂණයට හිතකර තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අහස පැහැදිලිව පවතින්නේ නම්, පැයකට උල්කාපාත 100ක් පමණ දැකගැනීමට අවස්ථාව තිබිය හැකි බව තාරකා විද්‍යාඥයෝ පවසති.

පර්සීඩ් උල්කා වර්ෂාව නිරීක්ෂණය කිරීමට හොඳම ක්‍රමය වන්නේ හෙට (12) මධ්‍යම රාත්‍රියෙන් පසුව සහ 13 වැනිදා අලුයම ඊසානදිග අහස දෙස බැලීමයි. අඳුරට ඇස් හුරු වීමට විනාඩි 20ත් 30ත් අතර කාලයක් ලබාදීමද වඩාත් පැහැදිලිව උල්කා නිරීක්ෂණය කිරීමට උපකාරී වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *