අගෝස්තු 15 වැනිදා ගල්කිස්ස අංගුලාන මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ වේග ප්‍රහාරක යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පසු අතුරුදන්ව සිටින නාවික නිලධාරියා සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, අනතුරට පත් යාත්‍රාව ගොඩගැනීම සඳහාද කටයුතු සූදානම් කර තිබේ.
සාමාන්‍ය මුර සංචාරයක නිරතව ආපසු පැමිණෙමින් සිටියදී පෙරවරු 11.40ට පමණ යාත්‍රාව අනතුරට ලක්ව ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
අනතුරින් පසු යාත්‍රාවේ සිටි නාවික හමුදා සාමාජිකයන් 11 දෙනෙකු බේරාගෙන ඇති අතර, ඔවුන් රෝහල්ගත කර තිබේ. ඔවුන්ගේ තත්ත්වය ස්ථාවර බව වාර්තා වේ.
සිද්ධියෙන් පසු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය මෙන්ම ප්‍රදේශයේ ධීවර ප්‍රජාවේ සහායද ලබාගනිමින් නාවික හමුදාව සෝදිසි හා මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි.
නාවික හමුදා සාමාජිකයන් බේරාගැනීමේදී ප්‍රදේශයේ ධීවර ප්රජාවද වැදගත් දායකත්වයක් ලබාදී තිබේ.
මේ අතර, අනතුරට පත් නාවික යාත්‍රාව අද දිනයේ ගොඩගැනීමේ මෙහෙයුමක් සිදුකිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මුහුදේ පවතින රළු කාලගුණික තත්ත්වය හේතුවෙන් ගලවාගැනීමේ මෙහෙයුම අභියෝගාත්මක විය හැකි බැවින් බලධාරීන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව නාවික හමුදාව සඳහන් කළේය.


