සෞඛ්‍ය වර්ජනය නොසිතූ තැනකට

වෛද්‍යවරුන්ට පමණක් රුපියල් 35,000කින් ඉහළ නැංවූ ‘ප්‍රවාහන සහ නිර්බාධක දීමනාව’ හෙවත් DAT දීමනාව තමන්ටත් ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට  තවත් වෘත්තිය සමිති රැසක් එක්විය.

ඒ අනුව සෞඛ්‍ය වෘත්තිය සමිති හතලිහකට අයත් සේවකයින් ඊයේ පෙරවරු 6 සිට එක්දින වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළේය.

මෙවන් පසුබිමක රෝහල් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි යුද හමුදාව යෙදවීමටද කටයුතු කෙරුණි.

ඒ අනුව අවශ්‍යතාව පරිදි සෙබලුන් 500කට ආසන්න පිරිසක් රජයේ රෝහල් වෙත යොමු කෙරුණු අතර, හදිසි අවශ්‍යතා සඳහා යෙදවීමට භට පිරිස් සූදානමින් තබන ලෙසට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා උපදෙස් දී තිබේ.

මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් දිවයින පුරා රජයේ රෝහල් වෙත පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත්විය.

රජයේ රෝහල්වලින් ඖෂධ නිකුත් නොකිරීම නිසා රාජ්‍ය ඔසුසැල් අසළද දිගු පෝළීම් දක්නට ලැබුණි.

ඇතැම් රෝහල්වල මුළුතැන්ගෙයි කටයුතු අඩාල වීම හමුවේ නේවාසික රෝගීන්ද අපහසුතාවයට පත්ව සිටියේය.

පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඊයේ ආරම්භ කළ පැය 48ක වර්ජනය අදත් ක්‍රියාත්මක වීම හේතුවෙන් රෝග නිවාරණ, ළමා හා ගැබිණි සායන ඇතුළු කටයුතු අඩාල විය.

මේ අතර ළමා රෝහලේ , පිළිකා රෝහලේ , මාතෘ රෝහල්වල , වකුගඩු රෝහල්වල, මධ්‍යම ලේ බැංකුවේ සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව ප්‍රකාශ කෙරුණි.

කෙසේවෙතත් මහරගම අපේක්ෂා රෝහලේ ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවක සංගමය, රජයේ සෞඛ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවක කාර්ය මණ්ඩලය අද දහවල් කෑම පැයේදී විරෝධතාවයක නිරත වුණේ තමන්ටද අදාළ දීමනා ලබා දෙන ලෙස ඉල්ලමිනි.

ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණහොත් ලබන 16 වැනිදායින් පසු රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයද විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර තිබේ.

මේ අතර රජයේ රෝහල් ආශ්‍රිතව ක්‍රියාත්මක වැඩවර්ජන හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා සහ අසාධාරණය පිළිබඳව නව ජනතා පෙරමුණ අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

අද දෙරණ බිග් ෆෝකස් තුළින් අවධානය යොමු කෙරුණේද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳවය.

මේ අතර විශ්වවිද්‍යාල අනධ්‍යයන වෘත්තිය සමිති කිහිපයක් අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පැවසුවේ, විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩලයට පමණක් දීමනා වැඩිකිරීම අසාධාරණ බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *