මානුෂීයව අවධානය යොමු කරමින් සිරකරුවන්ට පවතින අඩුපාඩු විසඳීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ.
එමෙන්ම මේ වනවිට මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් 12,000කට අධික සිරකරුවන් පිරිසක් සිටින බවත්, ඔවුන් වෙනුවෙන් පුනරුත්ථාපන වැඩසටහනක්ද සකස් කිරීමේ අවශ්‍යතාවද ඒ මහතා අවධාරණය කර තිබේ.
ඒ මහතා මේ බව පවසා ඇත්තේ බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවේදීයි.
එමෙන්ම මේ වනවිට ගැටලුවක්ව පවතින බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය නැති කිරීම සදහා දැනට හඳුනා ගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බැලීමටත්, විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමටත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අති විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර රේගුව, පොලිසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයිද ප්‍රකාශ කළේය.