සයිබර් ප්‍රහාරයකින් පද්ධති අඩපණ වූ බවට පළවන වාර්තා ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ පද්ධති සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කරගෙන ඇති බවට පළවන චෝදනා සහ ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා ඇති බවට වන ප්‍රකාශ එම ගුවන් සේවය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

බදාදා (21) නිකුත් කළ නිවේදනයක් මගින් ජාතික ගුවන් සේවය මේ බව සඳහන් කළේ, සිය පරිගණක පද්ධති සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් ඒවා තවදුරටත් හැකර්වරුන්ගේ පාලනය යටතේ පවතින බවත් සඳහන් කරමින් මෑතකදී පළවූ මාධ්‍ය වාර්තා සහ ප්‍රසිද්ධ ප්‍රකාශවලට ප්‍රතිචාර දක්වමිනි.

2026 ජුනි මාසයේදී ගුවන් සේවයේ පද්ධතිවලට හැකර්වරුන් ඇතුළු වී ඇමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් ක්‍රිප්ටෝ මුදල්වලින් ඉල්ලා ඇති බවට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අඟහරුවාදා (20) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයෙන් පසුව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.

ශ්‍රීලන්කන් ගුවන් සේවය සඳහන් කළේ, සිය තොරතුරු තාක්ෂණ පද්ධතිවලට අනවසරයෙන් ඇතුළුවීමක් සිදුවී ඇති බවට වූ ප්‍රකාශයක් බාහිර පාර්ශ්වයක් විසින් 2026 ජුනි 29 වැනිදා අන්තර්ජාලයේ පළ කිරීමෙන් මෙම චෝදනා ආරම්භ වූ බවයි.

එම ප්‍රකාශය පිළිබඳව දැනගත් වහාම ගුවන් සේවය විමර්ශන, තාක්ෂණික ඇගයීම් සහ පූර්වාරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ බවද එම නිවේදනයේ සඳහන් වේ.

“විමර්ශනවලින් ලැබුණු තොරතුරු අනුව, ගුවන් සේවයේ අභ්‍යන්තර තොරතුරු තාක්ෂණ පද්ධති හෝ මෙහෙයුම් පද්ධති වෙත අනවසරයෙන් ප්‍රවේශ වීමක්, තොරතුරු සම්පත්වලට හානි සිදුවීමක්, දත්ත අනවසරයෙන් පිටතට ලබාගැනීමක් හෝ ගුවන් සේවයේ සේවා සහ මෙහෙයුම් අඛණ්ඩතාවට බාධාවක් සිදුවීමක් තහවුරු වී නොමැත” යනුවෙන් ගුවන් සේවය ප්‍රකාශ කළේය.

විද්‍යුත් තැපැල් සේවා ඇතුළු සියලුම පද්ධති සහ සේවා කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වූ බවද එය තහවුරු කළේය.

හැකර්වරුන් ක්‍රිප්ටෝ මුදල්වලින් කප්පම් මුදලක් ඉල්ලා ඇති බවට පළවන චෝදනාද ශ්‍රීලන්කන් ගුවන් සේවය ප්‍රතික්ෂේප කර තිබේ.

“අදාළ බව කියන පාර්ශ්වයෙන් බිට්කොයින්, ඇමෙරිකානු ඩොලර් හෝ වෙනත් කිසිදු ආකාරයකින් කප්පම් ඉල්ලීමක් ලැබී නොමැති බවත්, කප්පම් මුදලක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් ශ්‍රීලන්කන් ගුවන් සේවය තහවුරු කරයි” යනුවෙන් එම නිවේදනයේ දැක්වේ.

සිය පද්ධති හැකර්වරුන් විසින් අත්පත් කරගෙන ඇති බවට හෝ ඒවා තවදුරටත් ඔවුන්ගේ පාලනය යටතේ පවතින බවට වන ප්‍රකාශද ගුවන් සේවය තරයේ ප්‍රතික්ෂේප කළේය.

මීට පෙර පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා, අදාළ බව කියන සයිබර් ප්‍රහාරය පිළිබඳ තොරතුරු හැකර්වරුන් විසින් ඩාර්ක් වෙබ් (Dark Web) හි පළ කර ඇති බවත්, ප්‍රහාරයේ වගකීම භාරගන්නා බව කියන වීඩියෝවක්ද නිකුත් කර ඇති බවත් ප්‍රකාශ කර තිබිණි.

ගුවන් සේවයේ පද්ධති තවදුරටත් බාධාවන්ට ලක්වීමේ අවදානමක් පවතින බවට අනතුරු ඇඟවූ ඔහු, චෝදනා එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳවද ප්‍රශ්න කර තිබේ.

කෙසේ වෙතත්, තම විමර්ශනවලදී අනවසර ප්‍රවේශයක්, දත්ත සොරකමක් හෝ මෙහෙයුම් බාධාවක් සිදුවූ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බව ශ්‍රීලන්කන් ගුවන් සේවය යළි අවධාරණය කළේය.

මගීන්, සේවකයන් සහ ව්‍යාපාරික හවුල්කරුවන් වෙනුවෙන් සිය තොරතුරු පද්ධති ආරක්ෂා කරමින් විශ්වාසදායක සේවාවක් අඛණ්ඩව පවත්වාගෙන යාමට කැපවී සිටින බවද ජාතික ගුවන් සේවය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *