ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු වෙනත් කිසිදු සංසදයකට අවලංගු කළ නොහැකි බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍යවරයාට හෝ කථානායකවරයාට හැකියාවක් නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කළේය.
නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සංගමය පවසන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති අතුරු තීන්දු හෑල්ලුවට ලක්කිරීමට රජය දරන උත්සාහය දැඩි ලෙස හෙළා දකින බවයි.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරන ලද නාමයෝජනා අභියෝගයට ලක් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවට කෙරෙන තර්කය නීතිඥ සංගමය ප්‍රතික්ෂේප කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ජේ ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල ප්‍රදේශයට අයත් වන බව BASL විසින් තහවුරු කරන ලදී. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අනතුරුව ජනාධිපතිවරයා සතු යුද්ධය සහ සාමය ප්‍රකාශ කිරීම හැර අනෙකුත් බලතල ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් අධිකරණ බල සීමාවට (35 වැනි වගන්තිය) යටත් වන බව නීතිඥ සංගමය ප්‍රකාශ කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්රය කෙරෙහි පූර්ණ විශ්වාසය පළ කරන බවත්, මෙම තීරණාත්මක මොහොතේ අධිකරණයේ අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා අධිකරණය වෙනුවෙන් පෙනී සිටින බවත් නීතීඥ සංගමය සිය නිවේදනයෙන් ප්‍රකාශ කළේය.
නීතිඥ සංගමයේ ලේකම් චතුර ගල්හේන මහතාගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත.