ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මාර්ග සංවර්ධනයට ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවස්ථා සොයා බැලීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ස්වීඩනය, ෆින්ලන්තය සහ නෝර්වේ යන රටවල අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

ස්ටොක්හෝම්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ, නෝර්ඩික් රටවල සංචාරයක නිරත වූ අමාත්‍යවරයා එහිදී ස්වීඩනයේ යටිතල පහසුකම් හා නිවාස අමාත්‍ය ඇන්ඩ්‍රියාස් කාල්සන්, ෆින්ලන්තයේ ප්‍රවාහන හා සන්නිවේදන අමාත්‍ය ලුලු රනේ සහ නෝර්වේ ප්‍රවාහන අමාත්‍ය කම්සි ගුනරත්නම් යන මහත්ම මහත්මීන් හමුවූ බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සහ වඩාත් ආරක්ෂිත, කාර්යක්ෂම හා තිරසර ප්‍රවාහන පද්ධතියක් සංවර්ධනය කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවලදී අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලිය සහ දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ පිළිබඳවද අමාත්‍ය රත්නායක මහතා සිය විදේශීය සගයන් දැනුවත් කර ඇත. විශේෂයෙන්ම මාරක රිය අනතුරු ඉහළ සංඛ්‍යාවක් වාර්තා වීමේ ගැටලුවට විසඳුම් සෙවීමට ගන්නා උත්සාහයන් පිළිබඳවද ඔහු කරුණු පැහැදිලි කර තිබේ.

ස්වීඩනයේ සංචාරය අතරතුර අමාත්‍යවරයා එරට ප්‍රවාහන හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන කිහිපයක නියෝජිතයන් සමඟද සාකච්ඡා පවත්වා තිබේ. ඒ අතරට ස්වීඩන් ප්‍රවාහන පරිපාලනය (Trafikverket), ස්වීඩන් ජාතික මාර්ග උපදේශන ආයතනය (Sweroad), ස්වීඩන් ජාතික මාර්ග හා ප්‍රවාහන පර්යේෂණ ආයතනය (VTI) සහ දුම්රිය ක්ෂේත්‍රයේ සමාගමක් වන Alstom ඇතුළත් වේ.

මෙම සංචාරයේ ප්‍රධාන අවධානයක් යොමු වූයේ මාර්ග ප්‍රවාහන පද්ධතිය තුළ සිදුවන මරණ සහ බරපතළ තුවාල සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අරමුණු කරගත් ස්වීඩනයේ ‘Vision Zero’ මාර්ග ආරක්ෂණ උපායමාර්ගය පිළිබඳවයි.

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන් සහ යටිතල පහසුකම් ශක්තිමත් කිරීම සඳහා එම උපායමාර්ගයේ අංග මෙරටට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව අමාත්‍යවරයා සොයා බලා තිබේ.

ස්වීඩන් ප්‍රවාහන බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලදී දැනට පවතින සහයෝගීතාව පුළුල් කිරීම, තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මහාමාර්ග ක්ෂේත්‍රවල කාර්යක්ෂමතාව සහ තිරසරභාවය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හඳුනාගැනීම පිළිබඳවද අවධානය යොමු විය.

ස්ටොක්හෝම් නගරයේ සංවර්ධනය වෙමින් පවතින ප්‍රධාන බහුමාධ්‍ය ප්‍රවාහන මධ්‍යස්ථානයක් වන ස්ලූසන් (Slussen) වෙතද අමාත්‍යවරයා ගොස් තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකදී ස්වීඩන් රජයේ නිලධාරීන් සහ ව්‍යාපාරික නියෝජිතයන් හමුවී සාකච්ඡා කර ඇත.

මෙම සංචාරයේ අරමුණ වූයේ නෝර්ඩික් රටවල් සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම මෙන්ම, තාක්ෂණික සහයෝගීතාව, දැනුම හුවමාරුව සහ ජාත්‍යන්තරයේ සාර්ථක භාවිතයන් මෙරටට හඳුන්වා දීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ අභියෝගවලට විසඳුම් සෙවීමේ අවස්ථා හඳුනාගැනීම බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *