ශ්රී ලංකාවේ ප්රමුඛතම ලැයිස්තුගත සමාගම් 100හි ඒකාබද්ධ ආදායම 2025/26 මූල්ය වර්ෂයේදී ආසන්න වශයෙන් සියයට 20කින් ඉහළ ගොස් ඇති බව ප්රමුඛ ව්යාපාරික සඟරාවක් වන LMD වාර්තා කරයි.
LMD සඟරාව ප්රකාශයට පත් කරන Media Services ආයතනය, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත LMD 100 ශ්රේණිගත කිරීම්වල 33 වැනි සංස්කරණයට අදාළව ප්රමුඛ සමාගම් 20හි ලැයිස්තුව හෙළි කර තිබේ. ඒ අනුව, හේලීස්, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ LOLC හෝල්ඩින්ග්ස් පළමු ස්ථාන තුන හිමිකරගෙන ඇත.
හේලීස් සමාගම අඛණ්ඩව තෙවැනි වසරටත් පළමු ස්ථානය රැකගෙන ඇති අතර, එහි ඒකාබද්ධ ආදායම රුපියල් බිලියන 585 ඉක්මවා තිබේ. එය පෙර මූල්ය වර්ෂයට සාපේක්ෂව සියයට 19ක වර්ධනයකි.
පෙර වසරේ පස්වැනි ස්ථානයේ සිටි ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම මෙවර දෙවැනි ස්ථානයට පැමිණ ඇති අතර, එහි ආදායම රුපියල් බිලියන 529කට ආසන්න වී තිබේ. එය සියයට 67ක සැලකිය යුතු වර්ධනයකි.
LOLC හෝල්ඩින්ග්ස් සමාගම රුපියල් බිලියන 429 ඉක්මවූ ආදායමක් වාර්තා කරමින් තෙවැනි ස්ථානය හිමිකරගෙන ඇත. එම ආදායම පෙර මූල්ය වර්ෂයට වඩා සියයට 26ක ඉහළ යෑමකි.
මේ අතර, සෙලින්කෝමර්ෂල් බැංකුව හත්වැනි ස්ථානයේ සිට සිව්වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. කාර්සන් කම්බර්බැච් සමාගම පස්වැනි ස්ථානයට පත්ව ඇත.
බුකිට් ඩාරා සමාගම හයවැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, හැටන් නැෂනල් බැංකුව, ලංකා IOC, CT හෝල්ඩින්ග්ස් සහ කාගිල්ස් (සිලෝන්) යන සමාගම් පළමු සමාගම් 10 අතරට එක්ව තිබේ.
LMD පෙන්වා දෙන්නේ, ශ්රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින පසුබිමක ප්රමුඛ ලැයිස්තුගත සමාගම්වල කාර්යසාධනය වැඩිදියුණු වීම මෙම සමස්ත ආදායම් වර්ධනයෙන් පිළිබිඹු වන බවයි.
2025 වසරේ ශ්රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 5කට ආසන්න මට්ටමක පැවතීමත්, 2025/26 මූල්ය වර්ෂයේ අවසන් භාගයේදී උද්ධමනය සියයට 5ක් පමණ වීමත් යන පසුබිම තුළ මෙම සියයට 20කට ආසන්න ආදායම් වර්ධනය වාර්තා වී තිබේ.
කෙසේ වෙතත්, සමාගම්වල ආදායම් ඉහළ යෑම ආර්ථික ප්රකෘතිමත් වීමේ එක් අංශයක් පමණක් බව Media Services ආයතනය අවධාරණය කරයි. සමාගම් අතර ලාභදායීත්වය වෙනස් වන බවත්, දේශීය හා විදේශීය ආර්ථික අවදානම් තවදුරටත් පවතින බවත් එම ආයතනය පෙන්වා දෙයි.
ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත LMD 100 වාර්ෂික සංස්කරණයට සම්පූර්ණ ශ්රේණිගත කිරීම් සහ ප්රමුඛ ලැයිස්තුගත සමාගම් කිහිපයක සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කිරීමට නියමිතය.
LMD 100 – ප්රමුඛ සමාගම් 20
- හේලීස් (Hayleys)
- ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (John Keells Holdings)
- LOLC හෝල්ඩින්ග්ස් (LOLC Holdings)
- කොමර්ෂල් බැංකුව (Commercial Bank of Ceylon)
- කාර්සන් කම්බර්බැච් (Carson Cumberbatch)
- බුකිට් ඩාරා (Bukit Darah)
- හැටන් නැෂනල් බැංකුව (Hatton National Bank)
- ලංකා IOC (Lanka IOC)
- CT හෝල්ඩින්ග්ස් (CT Holdings)
- කාගිල්ස් (සිලෝන්) (Cargills (Ceylon))
- සම්පත් බැංකුව (Sampath Bank)
- සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් (Ceylon Cold Stores)
- ඩයලොග් ආසියාටා (Dialog Axiata)
- මෙල්ස්ටාකෝප් (Melstacorp)
- බ්රවුන් ඇන්ඩ් කම්පනි (Brown and Company)
- වැලිබල් වන් (Vallibel One)
- සිලෝන් බෙවරේජ් හෝල්ඩින්ග්ස් (Ceylon Beverage Holdings)
- ලයන් බෘවරි (සිලෝන්) (Lion Brewery (Ceylon))
- සිංගර් (ශ්රී ලංකා) (Singer (Sri Lanka))
- හේමාස් හෝල්ඩින්ග්ස් (Hemas Holdings)


