මෙම වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 91,346 දෙනෙකු සහ ඩෙංගු ආශ්රිත මරණ 68ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව ඩෙංගු රෝගයේ මරණ අනුපාතය 0.07%ක් ලෙස වාර්තා වේ.
මාසික වශයෙන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,968කි. ජුනි මාසයේදී රෝගීන් 21,533ක් සහ අගෝස්තු මාසයේදී 6,004ක් වාර්තා වී තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර, එය 19,467ක් හෙවත් සමස්ත රෝගීන්ගෙන් 21.3%කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,133ක් හෙවත් 19.8%ක් වාර්තා වී තිබේ.
මීට අමතරව, කළුතරින් 6,626ක්, මහනුවරින් 5,021ක් සහ ගාල්ලෙන් 3,678ක් ලෙස ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත.
පළාත් අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, එම සංඛ්‍යාව 48,338ක් හෙවත් සමස්ත රෝගීන්ගෙන් 53%කි. දකුණු පළාතෙන් රෝගීන් 11,679ක්ද, මධ්‍යම පළාතෙන් 8,546ක්ද වාර්තා වී තිබේ.
සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ 31 වන සතියේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) බල ප්‍රදේශ 119ක් ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි. දිනකට සාමාන්‍යයෙන් නව ඩෙංගු රෝගීන් 1,509ක් පමණ වාර්තා වන බවද සඳහන් වේ.
මදුරු බෝවන ස්ථාන විනාශ කිරීම, නිවාස හා අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සහ ඩෙංගු රෝග ලක්ෂණ ඇති වූ විට ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු වැළැක්වීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිති.


