වාරියපොල කසල නසන්න ලොකු වැඩක් අරඹයි

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීමේ තවත්   පියවරක් සනිටුහන් කරමින්, වාරියපොළ නව ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් (MRF) ඉදිකිරීමේ කටයුතු  ආරම්භ කෙරිණි.

වාරියපොළ ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක ස්ථාපනය කෙරෙන මෙම ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 33ක මුදලක් වැය කිරීමට නියමිතය. නොදිරන අපද්‍රව්‍ය ලෙස සැලකෙන ප්ලාස්ටික්, පොලිතීන් සහ වෙනත් අබලි ද්‍රව්‍ය විධිමත් ලෙස එකතු කර, වර්ග කර ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කිරීම මෙහි මූලික අරමුණයි.

මෙම ව්‍යාපෘතිය “ක්ලින් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක කෙරෙන අතර, රටේ අපද්‍රව්‍ය ගැටලුවට තිරසාර විසඳුම් ලබා දීම ඉලක්ක කෙරේ.

කසළ රඳවන වෙත යොමු කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය කරමින් චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ පරිසර දූෂණය අවම කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙන අතර, මෙම මධ්‍යස්ථානය මඟින් ප්‍රදේශවාසීන් වෙත නව ‘හරිත රැකියා’ අවස්ථා උදා වනු ඇත.

දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතිය යටතේ ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන 58ක් ඉදිකිරීමට නියමිතය. ඒ යටතේ මෙම වසරේදී ද්‍රව්‍ය ප්‍රතිසාධන මධ්‍යස්ථාන හතරක් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි පළමු මධ්‍යස්ථානය, මඩකළපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි ප්‍රදේශයේදී පසුගිය දා ආරම්භ කෙරිණි. මීට අමතරව තලාව සහ තංගල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් තවත් මධ්‍යස්ථාන දෙකක් ඉදිකිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *