රන් ආලේපිත ටී-56 ගිනි අවිය ගැන දුමින්ද දිසානායකට අධිචෝදනා: ඇප මත මුදාහරී

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට සහ තවත් කාන්තාවකට එරෙහිව රන් ආලේපිත ගිනි අවියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය අද අධිචෝදනා ගොනු කර තිබේ.

අධිචෝදනා භාරදීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන් දෙදෙනාම ඇප මත මුදාහැරීමට නියෝග කර ඇත.

අධිකරණ වාර්තාවලට අනුව, දුමින්ද දිසානායක මහතාට සහ එම සම විත්තිකාරියට එරෙහිව සැප්තැම්බර් 9 වැනිදාද අධිචෝදනා ගොනු කර තිබූ අතර, එදිනද ඔවුන් ඇප මත මුදාහැර තිබේ.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2025 මැයි මාසයේදී වැල්ලවත්ත හැව්ලොක් සිටි මහල් නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධියයි.

ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි බවට සැකපිට මුලින් වයස අවුරුදු 40 සහ 68 වන කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුව මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සිදුකළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව දුමින්ද දිසානායක මහතාද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.

ඒ අනුව එම අවස්ථාවේදී දුමින්ද දිසානායක මහතා අධිකරණයෙන් මුදාහැර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *