ඔක්තෝබර් 21 වැනිදා නිකුත් කළ මෙම තීරණය ගෙන ඇත්තේ 2022 මාර්තු සහ අප්රේල් මාසවලදී සමාජ මාධ්ය වේදිකා සහ සන්නිවේදන යෙදුම් වෙත පනවන ලද සීමා කිරීම් පිළිබඳ තොරතුරු ඉල්ලා ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය.
පෞද්ගලික සමාගම් විසින් සපයනු ලබන විදුලි සංදේශ සේවා, තොරතුරු දැනගැනීමේ පනතේ 43(g) වගන්තිය යටතේ ව්යවස්ථාපිත හෝ පොදු කාර්යයන් ලෙස සැලකිය හැකිද යන්න කොමිෂන් සභාව එහිදී විමර්ශනය කර තිබේ.
විදුලි සංදේශ සේවා රජය විසින් නිකුත් කරන බලපත්ර යටතේ ක්රියාත්මක වීම, රාජ්ය පාලනය යටතේ පවතින ගුවන් විදුලි සංඛ්යාත වර්ණාවලිය භාවිත කිරීම සහ මහජනතාවට අත්යවශ්ය සන්නිවේදන යටිතල පහසුකම් සැපයීම හේතුවෙන් එම සේවාවන්ට පොදු ස්වභාවයක් පවතින බව කොමිෂන් සභාව තීරණය කර ඇත.
විදුලි සංදේශ සමාගමක් පෞද්ගලික අයිතිය යටතේ පැවතීම පමණක් හේතුවෙන් එය තොරතුරු දැනගැනීමේ පනතේ විධිවිධානවලින් ස්වයංක්රීයව නිදහස් නොවන බව ද කොමිෂන් සභාව පෙන්වා දී තිබේ.
මහජන යහපත, පාරිභෝගික අයිතිවාසිකම් සහ සන්නිවේදන සේවාවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම අරමුණු කරගත් නියාමන රාමුවක් තුළ විදුලි සංදේශ සේවා සපයන්නන් ක්රියාත්මක වන බව ද එහිදී අවධාරණය කර ඇත.
පොදු කාර්යයන් ඉටු කරන ඇතැම් පෞද්ගලික ආයතනවලට ද තොරතුරු දැනගැනීමේ පනත අදාළ විය හැකි බව පිළිගත් අභියාචනාධිකරණයේ පෙර තීන්දු ද කොමිෂන් සභාව සිය තීරණයේදී සැලකිල්ලට ගෙන තිබේ.
කෙසේ වෙතත්, තොරතුරු දැනගැනීමේ පනත අදාළ වන්නේ විදුලි සංදේශ බලපත්රය යටතේ සමාගමක් ඉටු කරන ව්යවස්ථාපිත හෝ පොදු කාර්යයන්ට සම්බන්ධ ක්රියාකාරකම් සඳහා පමණක් බව කොමිෂන් සභාව පැහැදිලි කර ඇත.
එමෙන්ම, ඉල්ලා සිටින සියලු තොරතුරු හෙළි කළ යුතු බවට මෙම තීරණයෙන් ස්වයංක්රීයව නියම නොවන බවත්, තොරතුරු දැනගැනීමේ පනත යටතේ පවතින තොරතුරු හෙළිදරව් කිරීමේ නිදහස් කිරීම් තවදුරටත් අදාළ විය හැකි බවත් කොමිෂන් සභාව සඳහන් කර තිබේ.
2022 වසරේදී රජය විසින් පනවන ලද සමාජ මාධ්ය සීමා කිරීම්වලට අදාළ ලේඛන නිකුත් කළ හැකිද යන්න තීරණය කිරීම සඳහා ඉදිරියේදී තවත් විභාගයක් පැවැත්වීමට නියමිතය.


