කොළඹ සිට කළුතර දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් කළුතර, නාගස් හන්දිය ප්රදේශයේදී මෝටර් සයිකල් මඟින් හරස් කර නවත්වා එහි රියැදුරුට සහ කොන්දොස්තරවරයාට හයදෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් අමානුෂික ලෙස පහරදී ඇතැයි පොලිසිය පවසයි.
මෙම සිදුවීම 27 පස්වරුවේ සිදුව ඇති අතර, මගීන් බස්සවා අවසන් වීමෙන් පසු බස් රථය ගාල් කිරීම සඳහා නිවස බලා ධාවනය කරමින් සිටියදී මෙම ප්රහාරය එල්ල වී තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, යතුරුපැදි තුනකින් පැමිණි හයදෙනෙකුගෙන් යුත් පිරිසක් මාර්ගය හරස් කරමින් බස් රථය නවතා ඇති අතර, අනතුරුව බලහත්කාරයෙන් ඊට ඇතුළු වී රියැදුරුට සහ කොන්දොස්තරවරයාට දරුණු ලෙස පහරදී ඇත. මෙම සම්පූර්ණ ප්රහාරය බස් රථය තුළ සවිකර තිබූ සීසීටීවී (CCTV) ආරක්ෂිත කැමරා පද්ධතියේ ඉතා පැහැදිලිව පටිගත වී තිබේ.
ප්රහාරයට හේතුව මොරටුවේදී ඇතිවූ ආරවුලක්?
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, බස් රථය කළුතර බලා ධාවනය වන අතරතුර මොරටුව ප්රදේශයේදී පුද්ගලයෙකු බස් රථයට නංවා ගැනීම කොන්දොස්තරවරයා විසින් ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මෙම ප්රහාරයට මුල්වී ඇති බවයි.
ප්රහාරයෙන් බරපතළ තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා ප්රතිකාර සඳහා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇති අතර, සීසීටීවී දර්ශන ඔස්සේ ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියි.


