සමාජ මාධ්ය ඔස්සේ මිලියනයකට අධික අනුගාමිකයන් පිරිසක් සිටි 27 හැවිරිදි ඉන්දීය මූල්ය උපදේශකයෙකු චෙන්නායි නුවර ආසන්නයේදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ. ඔහු දිගින් දිගටම අන්තර්ජාලය ඔස්සේ හිරිහැරවලට ලක්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
“Finance with Harish” යන නමින් සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධියට පත්ව සිටි පුදුචේරිහි මූල්ය උපදේශක වී. හරිෂ්, ඔක්තෝබර් 19 වැනි සඳුදා රාත්රියේ මුට්ටුකාඩු ප්රදේශයේ කුලියට ගත් නිවාඩු නිකේතනයකදී මියගොස් සිටියදී සොයාගෙන තිබේ.
ඉන්දීය මාධ්ය වාර්තාවලට අනුව, ඔහුගේ පියා වන ජේ. විනයාගම් විසින් කරන ලද පැමිණිල්ලක් මත පොලිසිය මෙම මරණය සියදිවි නසාගැනීමක් බවට සැක කරමින් විමර්ශනය කරයි.
වසර පහක් පුරා මූල්ය කටයුතු සහ ආයෝජන සම්බන්ධ අන්තර්ගතයන් සමාජ මාධ්ය ඔස්සේ බෙදාගනිමින් හරිෂ් විශාල අනුගාමිකයන් පිරිසක් ගොඩනඟාගෙන තිබිණි. කෙසේ වෙතත්, ඔහු ලබාදුන් මූල්ය උපදෙස් සහ වෘත්තීය සුදුසුකම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් පසු සැප්තැම්බර් මාසයේදී ඔහුගේ සමාජ මාධ්ය ගිණුම් අවහිර කර තිබූ බව වාර්තා වේ.
තවත් සමාජ මාධ්ය බලපෑම්කරුවෙකු වන ජේසන් සැමුවෙල්, හරිෂ්ට එරෙහිව අන්තර්ජාලය ඔස්සේ හිරිහැර කිරීම, අපහාසාත්මක චෝදනා එල්ල කිරීම සහ තර්ජනය කිරීම සිදුකළ බවට ඔහුගේ පියා චෝදනා කර තිබේ. එම ක්රියා හේතුවෙන් හරිෂ් දැඩි මානසික පීඩනයකට ලක්වූ බවද පියා සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
පැමිණිල්ලට අනුව, මියයාමට පෙර හරිෂ් වීඩියෝවක් පටිගත කර ඇති අතර, එහිදී තම තීරණයට ජේසන් සැමුවෙල් වගකිව යුතු බවට ඔහු චෝදනා කර ඇතැයි පැවසේ.
කෙසේ වෙතත්, සැමුවෙල් එම චෝදනා ප්රතික්ෂේප කර තිබේ. හරිෂ්ගේ වෘත්තීය සුදුසුකම් සහ මූල්ය උපදෙස් ලබාදීමට ඔහුට අවසර තිබුණේද යන්න පිළිබඳව තමන් සාධාරණ ප්රශ්න මතු කළ බව සැමුවෙල් පවසා ඇත.
ඉන්දියාවේ සුරැකුම්පත් හා විනිමය මණ්ඩලයේ (SEBI) අවශ්ය ලියාපදිංචිය හරිෂ් සතුව නොතිබූ බවත්, ඔහු සිය වෘත්තීය සුදුසුකම් පිළිබඳව වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබූ බවත් සැමුවෙල් චෝදනා කර තිබේ. එසේ වුවද, හරිෂ් සියදිවි නසාගනු ඇතැයි තමන් කිසිවිටෙකත් අපේක්ෂා නොකළ බවද ඔහු සඳහන් කර ඇත.
බොහෝ පිරිසක් විසින් පැමිණිලි කිරීම හේතුවෙන් හරිෂ්ගේ පැරණි සමාජ මාධ්ය ගිණුම් අවහිර කර තිබූ බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව ඔහු ආරම්භ කළ වෙනත් ගිණුමක්ද ඉවත් කර තිබේ.
හරිෂ්ගේ සමාජ මාධ්ය ගිණුම් ඉවත් කිරීමට හේතු වූ කරුණු සහ ඔහු මියයාමට පෙර පටිගත කළ බව කියන වීඩියෝව ඇතුළු දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශකයෝ පරීක්ෂණ පවත්වමින් සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් සියදිවි නසාගැනීමක් සනාථ කරන ලිපියක් හමු වී නොමැති අතර, පොලිසිය අස්වාභාවික මරණයක් සම්බන්ධයෙන් නඩුවක්ද ලියාපදිංචි කර තිබේ.
ජේසන් සැමුවෙල්ට එරෙහි චෝදනා මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ විමර්ශන තවදුරටත් ක්රියාත්මක වේ.


