මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකිකයාගේ සුවදුක් විමසීමට සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා බන්ධනාගාරයට යයි

සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වාඩ් මහතා ඔක්තෝබර් 8 වැනිදා දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටින අනෝජන් සිවරාසා මහතා හමුවී ඔහුගේ සුවදුක් සහ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා බැලූ බව රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

සෞදි අරාබියේ අගනුවර වන රියාද් නගරයේ සිට කිලෝමීටර් 450ක් පමණ දුරින් මෙම බන්ධනාගාරය පිහිටා තිබේ.

අනෝජන් සිවරාසා 27 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකි. ඔහු සෞදි අරාබියේ රැකියාවක නිරතව සිටියදී, නබි මුහම්මද්තුමාට අපහාසයක් ලෙස සැලකුණු අදහසක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. එම සමාජ මාධ්‍ය සටහන හේතුවෙන් ඔහුට මේ වන විට මරණ දඬුවම නියම වී ඇති අතර, ඔහුට සමාව ලබා ගැනීම සඳහා ගන්නා උත්සාහයන් ද තීව්‍ර කර තිබේ.

තානාපතිවරයා සිවරාසා මහතා සමඟ සාකච්ඡා කර ඔහුගේ අවශ්‍යතා සහ ගැටලු පිළිබඳව සවන් දී ඇත. ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ඔහුට අවශ්‍ය කොන්සියුලර් සහ නීතිමය සහාය ලබා දීමට තානාපති කාර්යාලය කැපවී සිටින බව ද තානාපතිවරයා යළි තහවුරු කර තිබේ.

සිවරාසා මහතාට තානාපතිවරයා සමඟ සෘජුව සම්බන්ධ වීමට පහසුකම් සැලසීම සඳහා අජ්වාඩ් මහතා සිය සම්බන්ධතා තොරතුරු ද ඔහු වෙත ලබා දී ඇති බව තානාපති කාර්යාලය සඳහන් කළේය.

හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ තානාපතිවරයා, සිවරාසා මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ඔහුගේ සුවදුක් පිළිබඳව සෞදි බන්ධනාගාර බලධාරීන් අවධානය යොමු කරන බවත් ප්‍රකාශ කර ඇත.

අජ්වාඩ් මහතා දම්මාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ එහි වෛද්‍යවරයා ද හමුවී තිබේ. එහිදී මෙම සංචාරය සඳහා පහසුකම් සැලසීම සහ සිවරාසා මහතාට අවශ්‍ය රැකවරණය ලබා දීම සම්බන්ධයෙන් ඔහු ඔවුන්ට ස්තුතිය පළ කර ඇත.

තානාපති කාර්යාලයේ නිවේදනයට අනුව, සිවරාසා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අභියාචනා ක්‍රියාවලිය සඳහා ද තානාපති කාර්යාලය සහාය ලබා දෙමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *