“මගීන්ගේ ජීවිත අනතුරේ නොදමා දුම්රිය ධාවනය ආරම්භ කිරීමට පෙර යළි පරීක්ෂා කරන්න”

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) අනුමැතියකින් තොරව ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමෙන් පසු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය සේවා යළි ආරම්භ කර ඇති බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය (SLRSMU) චෝදනා කරයි.

එම සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පැවසුවේ තත්ත්වය බරපතළ බවත්, දුම්රිය මාර්ගයේ තවත් ස්ථාන දෙකක නායයෑම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බවටද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවත්ය.

“මගීන්ගේ ජීවිත අනතුරේ නොදමා දුම්රිය සේවා ආරම්භ කිරීමට පෙර මේ සම්බන්ධයෙන් නිසි ලෙස නැවත විමර්ශනය කර කරුණු සොයා බලන ලෙස අපි දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ජයසේකර මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර පේරාදෙණියේ සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පළමු කාර්යාල දුම්රිය අද (05) අලුයම පීලි පැනීමෙන් අනතුරුවය.

අලුයම 4.35ට පමණ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් පිටත් වූ එම දුම්රිය ඉහළකොට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයකදී පීලි පැන තිබේ. ඒ දුම්රිය මාර්ගයට පස් සහ ගල් කඩා වැටීම හේතුවෙනි.

දුම්රිය රියැදුරුට මාර්ගයට වැටී තිබූ බාධකය පැහැදිලිව දැකගැනීමට නොහැකි වීම හේතුවෙන් දුම්රියේ එන්ජිම සහ එක් මැදිරියක් පීලි පැන ඇති බව සඳහන් වේ.

ඩිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ දැඩි හානි හේතුවෙන් මාස 10කට ආසන්න කාලයක් වසා තිබූ කොළඹ කොටුව, පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය මාර්ග කොටසේ සේවා ඔක්තෝබර් 02 වැනිදා යළි ආරම්භ කර තිබිණි.

අද සිදුවූ පීලි පැනීමෙන් පසු දුම්රියේ සිටි මගීන් විකල්ප මාර්ග ඔස්සේ කඩිගමුව බස් මාර්ගයට පැමිණ එතැන් සිට බස් රථ මගින් රඹුක්කන දක්වා ගමන් කර තිබේ.

පසුව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් බලපෑමට ලක් වූ මගීන් කොළඹ දක්වා රැගෙන යාම සඳහා රඹුක්කන සිට අතිරේක දුම්රියක් යෙදවීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *