බැසිල් රාජපක්ෂට සහ තිරුකුමාර් නඩේෂන්ට ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග…

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන්ට 2022 මාර්තු 25 වනදා ගම්පහ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබේ.

මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන එම ඉඩමේ ගොවිපළක් පවත්වාගෙන යාමට රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් මොවුන් දෙදෙනාට එරෙහිව පවරා ඇති නඩුව 2022 මාර්තු 11 වැනි දින විභාගයට ගත් අවස්ථාවේදී ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මල්වාන මන්දිරය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බව පවසමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (FCID) නිලධාරීන් තමන්ට තර්ජනය කර ඇති බව නඩුවේ සාක්ෂිකරුවෙකු හෙළිකර තිබේ.

තමා 2011 වසරේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ කාර්යාල කාර්ය සහායකයකු ලෙස තාවකාලික පදනමින් සේවයේ යොදවා ඇති බවද ඔහු අධිකරණයට දන්වා සිටියේය.

මෙම වකවානුවේ තමන් නිවාඩු දිනවල මල්වාන මන්දිරයේ සේවය කර ඇත්තේ එම මන්දිරයේ නඩත්තුව භාරව සිටි වරලත් වාස්තු විද්‍යාඥ මුදිත ජයකොඩි මහතාගේ ඉල්ලීමකට අනුව බවද සාක්ෂිකරු පැවසීය.

මේ සම්බන්ධයෙන් FCID නිලධාරීන් තමාගෙන් ප්‍රශ්න කළ බව සඳහන් කළ ඔහු කියා සිටියේ කාර්යාලයේ ඉහළ මහලකදී තමාගෙන් ප්‍රශ්න කළ බවයි.

මල්වාන මන්දිරය අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ බව පවසන ලෙස නිලධාරීන් තමන්ට බල කළ බවත් ඊට එකඟ නොවන්නේ නම් ජනේලයෙන් එළියට දමා සියදිවි නසාගැනීමක් ලෙස නඩුව අවසන් කරන බවට තර්ජනය කළ බවත් සාක්ෂිකරු පැවසීය.

නිලධාරීන් විසින් ලියන ලද ප්‍රකාශයට බියෙන් තමන් අත්සන් කළ බවත් එම ප්‍රකාශ පත්‍රයේ ලියා ඇති දේ පිළිබඳව තමා නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සලකා බැලීම අවසන් කරමින් ගම්පහ මහාධිකරණය මීළඟ නඩු විභාගය 2022 මාර්තු 25 දිනට නියම කළේය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන්ට එම දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස ද අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *