දණ්ඩ නීති සංග්‍රහයේ යෝජිත සංශෝධන මඟින් ලිංගික සේවනයේ යෙදිය හැකි ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 14 දක්වා අඩු කිරීමට හා පිරිමි වරදකරුවකුගේ වයස අවුරුදු 22ට අඩු නම් දඬුවම් ලිහිලි කිරීම පිළිබඳ යෝජනාවක් පවතින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාගේ විශේෂ අවධානයට යොමු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණ සම්බන්ධයෙන් මෙසේද පැවසීය:
“2024 පෙබරවාරි 13 දින ප්‍රකාශයට පත් කරන ලද දණ්ඩ නීති සංග්‍රහයේ 363 සහ 364 වගන්තියේ 19 වැනි පරිච්ඡේදයේ සංශෝධනය කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ප්‍රසන්න රණතුංග අමැතිතුමාගේ අවධානයට යොමු කරන්න කැමැතියි. මේ පනත් කෙටුම්පත මඟින් ලිංගික සේවනයට බාල වයස්කාර ගැහැනු දරුවන්ගේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කිරීම, පිරිමි වරදකරුවකු අවුරුදු 22ට අඩු නම් දඬුවම් ලිහිල් කිරීම, ඒ වගේම 363 දණ්ඩ නීති සංග්‍රහයේ පිරිමි සහ ස්ත්‍රී දූෂණය එකට දානවා වෙනුවට ස්ත්‍රී දූෂණය වෙනුවෙන් වෙනම අණපනත් සහ පිරිමින්ට තිබිය යුතු ඒවා වෙනම සංශෝධන හරහා ඉදිරිපත් කිරීම අතිශයින්ම වැදගත් කරුණු හැටියට අණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාට මා යොමු කරනවා. ඒ වගේම මා රජයෙන් ඉල්ලීමක් කරනවා මේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 හා 364 වගන්ති ඉවත් කර ගන්නා ලෙස. ළමා, කාන්තා ඒ වගේම පුරුෂ පක්ෂයේ අප හැමෝගෙම අයිතීන් සුරෂිත කරන්න.”
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා: “එතුමාගේ ඉදිරිපත් කිරීම මා අධිකරණ ඇමැතිතුමාගේ අවධානයට යොමු කරනවා. මම දන්නේ නැහැ ඒක විපක්ෂයේම මතයද කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ ගණිකා වෘත්තිය නීතිගත කරන්න හදන නිසා ඒ අය ඒකට ප්‍රතිචාරය දෙන්නේ කොහොමද දන්නේ නැහැ. මේක සංකීර්ණ ගැටලුවක්. මෙය සාකච්ඡා කළ යුතු දෙයක්. එ් නිසා එය කරන්න ඕනෑ. ඒකට කතා දෙකක් නැහැ.”