බස්නාහිර කොවිඩ් අවදානම ඉහළට

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තවදුරටත් කොවිඩ් ව්‍යාප්තිය අතින් ඉහළ අවදානමක පවතින බව සෞඛ්‍ය අංශ වාර්තා අනාවරණ කර තිබේ.

මේ හේතුවෙන් බස්නාහිර පළාත තුළ සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන අතර රෝහල්වල ස්ථාපිත මධ්‍යස්ථාන මඟින් ද එන්නත්කරණය සිදුකිරීමට පියවර ගෙන ඇත.

මේ අතර, දිවයිනටම බලපැවැත්වූ සංචරණ සීමා ඉවත්කර අද වනවිට දින 05ක් ගතවී ඇත.

එවන් පසුබිමක ගෙවුණු දින 07ක කාලය තුළ වැඩි වශයෙන් ආසාදිතයන් වාර්තා වූ දිස්ත්‍රික්වල තත්ත්වය අපි සංසන්දනාත්මකව විමසා බැලීය.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව 175 ත් 400 ත් අතර පැවතුණි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන 175 ත් 450ත් අතර පරාසයක පවතින බව පෙනී යයි.

කළුතර දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් ගණන 175 ත් 400 ත් අතර පරාසයක පවතී.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයන් ගණන 10 ත් 125 ත් අතර පරාසයක පවතින අතර, රත්නපුර දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50 ත් 200ත් අතර පරාසයක පවතින බව පැහැදිලිය.

ගාල්ල දිස්ත්‍රික්කයේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව පවතින්නේ 25ත් 150ත් අතර ය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පසුගිය සතියේ දෛනික ආසාදිතයින් 10ත් 100ත් අතර පරාසයක පැවතියේය.

මේ අනුව ආසාදිතයින් වාර්තාවීම අතින් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක 03ම සෙසු දිස්ත්‍රික්කවලට සාපේක්ෂව තවමත් ඉහළ අවදානමක පවතින බව පැහැදිලිය.

මෙවන් පසුබිමක් තුළ ආසාදිතයින් හඳුනාගැනීම සඳහා ඊයේ පී.සී.ආර්.පරීක්ෂණ 16,934ක් සිදුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දත්තවලට අනුව ගෙවුණු සතියේ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකෙරුණු ප්‍රමාණය සැලකීමේදී දෛනික පී.සී.ආර්.පරීක්ෂණවල සාමාන්‍යය 17,883 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *