පෑලියගොඩ මාළු සේවකයාගේ ඝාතකයන් අල්ලයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදසලේ සේවකයකු වෙඩි තබා ඝාතනයට   වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයෙන් ගැලවී ගිය ප්ලාස්ටික් කැබැල්ලක් ඔස්සේ කළ විමර්ශනවලදී එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනකු සහ මෝටර් රථය අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 13, කොළඹ 15 සහ දෙමටගොඩ ප්‍ර දේශවල පදිංචි 21, 42 සහ 45 හැවිරිදි පුද්ගලයන් තිදෙනෙකි.

එම ඝාතනයට සම්බන්ධ මෝටර් රථයේ රියැදුරු එම ඝාතනයට දින කීපයකට පෙර විදේශ රටක සිට පැමිණ එම පුද්ගලයා ඝාතනය කිරීමෙන් අනතුරුව මෝටර් රථය වත්තල ප්‍රදේශයේ දමාගොස් එදිනම විදේශගතවී ඇති බව පොලිසිය පවසයි.

එම මෝටර් රථයේ තිබී හිස් උණ්ඩ කොපු 10 ක් පමණ පොලිසිය සොයාගෙන තිබුණි.

එම වෙඩි තැබීමෙන් මෝදර ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අප්පන් ප්‍රභූ නැමැත්තකු මියගොස් තිබුණි.

කැලණිය කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ මෙහෙයවීම පරිදි පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති මූලස්ථාන පොලිස් පරීක්ෂක අසේල කළුවිතාරණ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂ ජයලත් බණ්ඩාර, උප පොලිස් පරීක්ෂක විමුක්ති ජයසිංහ, උප පොලිස් පරීක්ෂක මිගාර මායාදුන්න, සැරයන් එස්.කේ.එම්. අනුරාධ යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *