ප්රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය සහ නැව්ගත කිරීම් ප්රමාද වීම හේතුවෙන් ශ්රී ලංකාවට රුපියල් බිලියන 18.3ක පමණ පාඩුවක් සහ අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති එස්. එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
බලශක්ති අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පත් කළ විශේෂඥ කමිටුවක් සිදු කළ විමර්ශනයක් මත මෙම වාර්තාව සකස් කර තිබේ. ගල්අඟුරු මිලදී ගැනීමේ ක්රියාපටිපාටි, ගල්අඟුරුවල ප්රමිතිය සම්බන්ධ විෂමතා සහ ඒවා විදුලි උත්පාදනයට ඇති කළ මූල්ය බලපෑම එහිදී විමර්ශනය කර ඇත.
ප්රමිතියෙන් තොර ගල්අඟුරු භාවිතය හේතුවෙන් රුපියල් බිලියන 7.099ක පිරිවැයක් ද, අවශ්ය මෙගාවොට් 300ක විදුලි උත්පාදන ධාරිතාව ළඟා කර ගැනීමට නොහැකි වීම නිසා අමතර විදුලිය මිලදී ගැනීමට රුපියල් බිලියන 8.572ක මුදලක් ද වැය වී ඇති බව විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී ඇතැයි මරික්කාර් මහතා පැවසීය.
මීට අමතරව, ගල්අඟුරු භාවිතය හේතුවෙන් සිදු වූ අමතර නඩත්තු කටයුතු, අළු ප්රවාහනය සහ නැව්ගත කිරීම් ප්රමාද වීම නිසා හදිසි ගල්අඟුරු මිලදී ගැනීම් සඳහා ද අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, රුපියල් බිලියන 18.3ක ලෙස ඇස්තමේන්තු කර ඇති මෙම බලපෑමට ගෝලීය බලශක්ති මිල ඉහළ යාමෙන් ඇති වූ පිරිවැය හෝ දේශීය වශයෙන් රජය ලබා දුන් සහනාධාරවල පිරිවැය ඇතුළත් නොවන බව ද මරික්කාර් මහතා පෙන්වා දුන්නේය.
එම පිරිවැය ද සටහන් කර ගන්නා ලෙස විශේෂඥ කමිටුවට උපදෙස් ලබාදී තිබූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.


