ප්‍රමාද වී ඇති අධිකරණ වෛද්‍ය වාර්තා 9,000ක් මෙම මාසය තුළ සම්පූර්ණ කර අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් බන්ධනාගාරගත රැඳවියන් සමඟද සාකච්ඡාවකට එක්වූ අවස්ථාවේදීය.
රට පුරා පිහිටි අනෙකුත් බන්ධනාගාරවලද මෙවැනි නිරීක්ෂණ චාරිකා සිදුකරමින් එහි පවතින තත්ත්වයන් සහ ගැටලු සොයා බලා ඒවාට විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර 33 තුළ සිටින රැඳවියන්ගේ ආරක්ෂාව මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු වූ බවද ඔහු පැවසීය.
පල්ලන්සේන බන්ධනාගාරය සඳහා නව හදිසි ප්‍රතිචාර කමිටුවක් පිහිටුවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.
දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, ගිනි නිවීම් සේවා නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මෙම කමිටුවට ඇතුළත් වේ.
“මෙහි ප්‍රධාන අරමුණ රැඳවියන්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි,” යනුවෙන් අමාත්‍යවරයා අවධාරණය කළේය.
බන්ධනාගාර තුළ පවතින දැඩි තදබදය පිළිබඳවද ඔහු අවධානය යොමු කළ අතර, රැඳවියන් සංඛ්‍යාව අඩු කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා විසින් මේ වන විටත් විශේෂ සැලැස්මක් සකස් කර ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.


