පළාත් සභා මැතිවරණ හැර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණයට විශේෂඥ කමිටුවේ වැඩ ඇරඹේ

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයෙන් යුතු සහ ජනතා අපේක්ෂාවන්ට ප්‍රතිචාර දක්වන පද්ධතියක් බවට පත් කිරීම සඳහා පත් කළ විශේෂඥ මණ්ඩලයේ ඉදිරි කටයුතු සැලසුම් කිරීමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව පැවැත්වුණේ මැතිවරණ නීති සමාලෝචනය කර පාර්ලිමේන්තුවට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වන රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.

කාරක සභා සාමාජිකයින් වන රුවන්තිලක ජයකොඩි, නීතිඥ තුෂාරි ජයසිංහ සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන්ද සාකච්ඡාවට එක්ව සිටියහ.

විශේෂඥ මණ්ඩලයේ කාර්යභාරය, සමාලෝචනයට ලක් කළ යුතු කරුණු සහ ඉදිරි අදියර ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

මැතිවරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පුරවැසියන් සහ සංවිධාන විසින් ඉදිරිපත් කර ඇති යෝජනා 31ක් විශේෂඥ මණ්ඩලය විසින් ගැඹුරින් සමාලෝචනය කිරීමට නියමිතය. මීට අමතරව, විශ්වවිද්‍යාල සහ අනෙකුත් ආයතන විසින් සිදුකර ඇති අදාළ අධ්‍යයන සහ පර්යේෂණද සලකා බැලීමට නියමිතව තිබේ.

මෙම සමාලෝචන කටයුතු සඳහා මාස දෙකක කාලයක් ලබාදී ඇති අතර, එම කාලය තුළ පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු හඳුනා ගැනීමට අමතරව, අවශ්‍ය නම් වඩාත් සාධනීය ලක්ෂණ සහිත නව මැතිවරණ ක්‍රමයක් සහ මැතිවරණ සංස්කෘතියක් හඳුන්වාදීම පිළිබඳවද නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙහි අවසාන අරමුණ වන්නේ වරින්වර සිදුකරන සුළු සංශෝධන කිහිපයකට පමණක් සීමා වීම නොවන බව නිලධාරීහු පෙන්වා දුන්හ.

ඒ වෙනුවට, වර්තමාන අවශ්‍යතා සහ ජනතා අපේක්ෂාවන්ට ගැළපෙන විශ්වාසදායක, ප්‍රජාතන්ත්‍රවාදී සහ කාර්යක්ෂම මැතිවරණ ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ නීතිමය නිර්දේශ ඇතුළත් පුළුල් වාර්තාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම කාරක සභාවේ අරමුණයි.

මෙම සාකච්ඡාවත් සමඟ විශේෂඥ මණ්ඩලයේ නිල කටයුතු ආරම්භ වූ අතර, එය ශ්‍රී ලංකාවේ අනාගත මැතිවරණ ක්‍රමය හැඩගැස්වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *