ගාල්ල දේවට වෙරළ තීරයේ අනවසරයෙන් ඉදිකර තිබූ මාළු වෙළෙඳසැල් අද පෙරවරුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉවත් කර තිබේ.
මෙම ක්රියාමාර්ගයට වෙළෙඳුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, ඔවුන් පවසන්නේ මීට පෙර තමන් වෙළෙඳාම් කළ ස්ථානවලින් ඉවත් කිරීමෙන් අනතුරුව නගර සභා නිලධාරීන් විසින්ම මෙම ස්ථානයේ තමන් සඳහා වෙළෙඳසැල් සකස් කර දී තිබූ බවයි.
පෙර දැනුම්දීමකින් තොරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හදිසියේ පැමිණ වෙළෙඳසැල් කඩා ඉවත් කළ බවට ද වෙළෙඳුන් චෝදනා කර තිබේ. එමෙන්ම තම භාණ්ඩ ඉවත් කර ගැනීමට ප්රමාණවත් කාලයක් ලබා නොදුන් බවට ද ඔවුහු පවසති.
කෙසේ වෙතත්, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම චෝදනා ප්රතික්ෂේප කරමින් පවසා ඇත්තේ අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස වෙළෙඳුන්ට මීට පෙර නිසි පරිදි දැනුම් දී තිබූ බවයි.
ඉවත් කිරීමේ මෙහෙයුමට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) නිලධාරීන් ද එම ස්ථානයට යොදවා තිබිණි.


