දිගුකාලීන ආයෝජන සඳහා ශ්‍රී ලංකාව විවෘතයි: අගමැතිනි හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාව විනිවිදභාවයෙන් යුතු දිගුකාලීන ආයෝජන සඳහා තවදුරටත් විවෘතව පවතින අතර, මානව හිමිකම් ආරක්ෂා කරමින්, පරිසරය සුරකිමින් සහ සාධාරණ ආර්ථික වර්ධනයකට දායක වන ව්‍යාපාර සඳහා රජය උපරිම සහාය ලබාදෙන බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

කොළඹදී බදාදා (12) පැවති ආසියා-පැසිෆික් තිරසර සංවර්ධන ඉලක්ක ආයෝජන සමුළුව අමතමින් අගමැතිනිය මේ බව සඳහන් කළාය. එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය එක්ව මෙම සමුළුව සංවිධාන කර තිබිණි.

සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන මූල්‍ය හිඟය පියවා තිරසර සංවර්ධන ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා ආයෝජන අත්‍යවශ්‍ය බව අගමැතිනිය පැවසුවාය. ලොව සංවර්ධනය වෙමින් පවතින රටවල් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.5ත් 4ත් අතර මූල්‍ය හිඟයකට මුහුණ දෙන අතර, එයින් ඩොලර් ට්‍රිලියන 1.5ක පමණ හිඟයක් ආසියා-පැසිෆික් කලාපයට අයත් බව ඇය පෙන්වා දුන්නාය.

අසීරු කාල පරිච්ඡේදයකින් පසු ශ්‍රී ලංකාව මේ වනවිට ආර්ථිකය යළි ගොඩනැගීම සහ ස්ථාවර කිරීම ආරම්භ කර ඇති බවත්, 2025 වසරේදී ආර්ථික වර්ධනය සියයට 5ක් දක්වා ළඟා වූ අතර දළ දේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන 108.8ක් දක්වා ඉහළ ගිය බවත් අගමැතිනිය සඳහන් කළාය.

කෙසේ වෙතත්, රජයේ අරමුණ ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණක් නොවන බවත්, රැකියා අවස්ථා නිර්මාණය කරමින් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ සාධාරණ ලෙස ජනතාව අතර බෙදී යන ආර්ථික පරිවර්තනයක් ඇති කිරීම බවත් ඇය අවධාරණය කළාය.

ව්‍යාපාරික ක්ෂේත්‍රයට රජය උපරිම සහාය ලබාදෙන නමුත්, ආයෝජන හුදෙක් ලාභ ඉපයීමෙන් ඔබ්බට යා යුතු බව අගමැතිනිය පැවසුවාය.

සාධාරණ වැටුප් ලබාදීම, වෘත්තීය පුහුණුව ලබාදීම, නිසි පරිදි බදු ගෙවීම, පරිසරය ආරක්ෂා කිරීම සහ කාන්තාවන් මෙන්ම ඉතිහාසයේ අඩු අවස්ථා ලැබූ කණ්ඩායම් ආර්ථිකයට වැඩි වශයෙන් සම්බන්ධ කර ගැනීම ව්‍යාපාරිකයන්ගේ ප්‍රධාන වගකීම් සහ ප්‍රමුඛතා ලෙස ඇය පෙන්වා දුන්නාය.

දේශගුණික විපර්යාස හේතුවෙන් කෘෂිකර්මාන්තයට සහ බලශක්ති ආරක්ෂාවට ඇතිවන අවදානම් පිළිබඳවද අගමැතිනිය අවධානය යොමු කළාය. එම අභියෝගවලට මුහුණ දීමට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම් ලබා ගැනීම පහසු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති තිරසර මූල්‍ය මාර්ග සිතියම සහ හරිත මූල්‍ය වර්ගීකරණ ක්‍රමවේදය වැදගත් වන බව ඇය පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් සහ එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතියේ ප්‍රධාන විධායක නිලධාරිනිය සහ විධායක අධ්‍යක්ෂිකා සැන්ඩා ඔජියම්බෝ මහත්මිය පැවසුවේ ලෝකය දේශගුණික, බලශක්ති සහ මූල්‍ය අර්බුද එකිනෙකට සම්බන්ධව මුහුණ දෙමින් සිටින බවයි.

තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ඩොලර් ට්‍රිලියන 4ක පමණ මූල්‍ය හිඟයක් පැවතියද, පෞද්ගලික අංශය සතුව ඇස්තමේන්තුගත ඩොලර් ට්‍රිලියන 22ක පමණ ප්‍රාග්ධනයක් පවතින බව ඇය සඳහන් කළාය. එබැවින් ප්‍රමුඛතාව විය යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරන අතරම ප්‍රතිලාභ ලබාගත හැකි ක්ෂේත්‍ර වෙත එම ආයෝජන යොමු කිරීම බව ඇය පැවසුවාය.

නිවාස, සාධාරණ වැටුප්, සමානාත්මතාව, අධ්‍යාපනය සහ පිරිසිදු බලශක්තිය වැනි ක්ෂේත්‍ර සඳහා වැඩි ආයෝජන අවශ්‍ය බවත්, පොසිල ඉන්ධන වෙත යොමු වන ආයෝජන වෙනත් තිරසර ක්ෂේත්‍ර වෙත යොමු කළ යුතු බවත් ඔජියම්බෝ මහත්මිය අවධාරණය කළාය.

ආසියා-පැසිෆික් කලාපයේ පවතින මූල්‍ය හිඟයට විසඳුම් සෙවීම සඳහා රජයන්, ව්‍යාපාර, බැංකු, ආයෝජකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් අතර විශ්වාසය, විනිවිදභාවය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ යුතු බවද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ ගෝලීය සම්මුතියේ නියෝජිතයන්, ආසියා-පැසිෆික් කලාපයේ පෞද්ගලික අංශයේ ප්‍රධානීන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, තිරසර සංවර්ධන විශේෂඥයන් සහ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයන් ද මෙම සමුළුවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *