ඩිජිටල් පරිවර්තනය සහ කෘත්‍රිම බුද්ධිය (AI) යන ක්ෂේත්රවල සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ ජපානය අවධානය යොමු කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂොහෙයි හාරා අතර විශේෂ සාකච්ඡාවක්ඩි ජිටල් ආර්ථික අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රධාන වශයෙන් ඩිජිටල් රූපවාහිනී ව්‍යාපෘතිය කඩිනම් කිරීම සහ එහි පවතින තාක්ෂණික ගැටලු විසඳීම පිළිබඳව අවධානය යොමු වී තිබේ.
එමෙන්ම, ආනයන මත පවතින යැපීම අඩු කරමින් මෙරට දේශීය කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා Set-top Box උපකරණ ශ්‍රී ලංකාව තුළම නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳවද සාකච්ඡා කර ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකාවේ අනාගත AI යටිතල පහසුකම් සඳහා අවශ්‍ය සහාය ලබාදීමේ අරමුණින් ජාතික AI දත්ත මධ්‍යස්ථානයක් (National AI Data Centre) ස්ථාපිත කිරීම පිළිබඳවද දෙපාර්ශ්වය සාකච්ඡා කර තිබේ.
එම වැඩසටහන යටතේ ධාරිතා සංවර්ධනය, පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාවේ දේශීය අවශ්‍යතාවලට ගැළපෙන AI විසඳුම් සංවර්ධනය කිරීම මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණික දැනුම සහ හොඳම භාවිතයන් හුවමාරු කර ගැනීමද අපේක්ෂා කෙරේ.
JICA ආයතනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ තාක්ෂණික සහයෝගීතාව සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සිය ස්තූතිය පළ කළේය.
මෙම වැඩසටහන් සාර්ථකව ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අවධාරණය කළේය.


