ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජිත පිරිසක් ජනාධිපති අනුර කුමාර දිසානායක, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහ ජනාධිපතිවරයාගේ නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර හමුවී විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවසුවේ, එම යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් තම විරෝධය නියෝජිතයන් විසින් රජයට පැහැදිලි කළ බවයි. අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ඇති විය හැකි බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, යුක්තිය පසිඳලීමේ පද්ධතිය වැඩිදියුණු කිරීමේ ප්රමුඛ කාර්යයක් ලෙස විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සැලකිය යුතු නොවන බවද ඔවුන් පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක් ඇති කළ හැකි බව අවධාරණය කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, මෙම අවස්ථාවේදී යෝජිත සංශෝධනය ඉදිරියට ගෙන නොයන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම, රජයේ කඩිනම් අවධානය අවශ්‍ය තවත් කරුණු කිහිපයක් පිළිබඳවද නියෝජිතයන් අවධානය යොමු කර ඇති අතර, එම කරුණු සඳහා ප්‍රමුඛතාව ලබාදිය යුතු බව පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජික සාවිත්‍රි ගුණසේකර මහත්මිය අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සංගමයේ අවධානය යොමු කළ කරුණු පැහැදිලි කරමින්, බලතල බෙදීමේ මූලධර්මය සහ අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පවත්වා ගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම සහ ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන කුළුණක් වන අධිකරණයේ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම අතර පැහැදිලි වෙනසක් පවතින බවද ඇය පෙන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද යෝජිත සංශෝධනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය නියෝජිත පිරිස වෙත පැහැදිලි කළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැමිණි නියෝජිත පිරිස, ඉදිරි පියවරක් ගැනීමට පෙර නීති වෘත්තියේ සාමාජිකයන්, විනිසුරුවරුන් සහ විද්වතුන් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් අර්ථවත් උපදේශන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙස රජයෙන් ඉල්ලා තිබේ.
එම යෝජනාව එවැනි පුළුල් සාකච්ඡා ක්‍රියාවලියක කොටසක් ලෙස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් වෙත යොමු කර සලකා බැලිය හැකි බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය යෝජනා කර ඇත.
නියෝජිත පිරිසට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රාජීව් අමරසූරිය, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න, ලේකම් නලින් ද සිල්වා, භාණ්ඩාගාරික පසිඳු සිල්වා සහ හිටපු සභාපතිවරුන් වන ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ජනාධිපති නීතිඥ උපූල් ජයසූරිය සහ ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් සහ කලාපීය නියෝජිතයන් ඇතුළත් 20 දෙනෙකුගෙන් යුත් පිරිසක් සහභාගී වී තිබේ.


