කොවිඩ් ආසාදිතයින් වැඩිවීම ගැන රතු එළි

මෙරටින් හඳුනාගන්නා කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන ආකාරය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලින් නිරූපනය වේ.

ඒ අනුව දින 20කට පසුව මෙරට දෛනිකව හඳුනාගන්නා කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (05) 600 සීමාව පසුකර තිබුණි.

ඊයේ හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 628කි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ, යළි ආසාදිතයින් වාර්තාවීම සැලකියයුතු ලෙස ඉහළ ගියහොත් සීමා පැනවීමට සිදුවන බවය.

“උත්සව, සාද, මංගල අවස්ථාවලදී රෝගය පැතිරීමට ඉඩ ලැබෙන සිද්ධි කිහිපයක් ම අපිට වාර්තා වුණා. ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අපිට අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පනවන්න සිදුවෙනවා.”

මේ අතර කොවිඩ් මර්දනය සඳහා එන්නත් වෙනුවට භාවිත කෙරෙන අමෙරිකාවේ මර්ක් ආයතනය නිෂ්පාදනය කළ ප්‍රතිවෛරස කරල මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

මෙතෙක් ඊට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය නොලැබුණත් එක්සත් රාජධානිය එම ඖෂධය සඳහා අවසර දුන්නේ එය අනුමත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වෙමිනි.

එම කරල් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ,

“ඒ පිළිබඳව අපි විද්වත් කමිටුවට යොමු කරලා තියෙනවා. නුදුරු දිනයකදී නිර්දේශ ලබාදෙයි.”

ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ,

“කඩිනමින් මේ සඳහා අවධානය යොමු කරන්න. මේ වනවිටත් ලෝකයේ රටවල් ගණනාවක් ඒ සඳහා ඇනවුම් ඉදිරිපත් කරලා තියෙනවා. ඉක්මණින් ඇනවුම් දුන්නේ නැත්තම් ඖෂධය ලබාගන්න අපිට ගොඩාක් පරක්කු වෙයි.”

කොවිඩ් මර්දන තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීම අදත් ක්‍රියාත්මක කෙරුණි.

ඒ අනුව මේ දක්වා ලබාදී ඇති තෙවැනි එන්නත් මාත්‍රා ගණන 44,111කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *