කුඩුවලට ඇබ්බැහිවූ පොලිසියේ 17 ක්

පසුගිය මාස 4 ක කාලය තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පොලිස් නිලධාරීන් 17 දෙනකු ස්ථීරවශයෙන් සේවයෙන් පහ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පොලිසියට අනුයුක්තව රාජකාරී සිදුකරමින් මත්ද්‍රව්‍ය භාවිත කරන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් නිලධාරී ලැයිස්තුවක් ලබාදී ඇති අතර එම ලැයිස්තුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා හරහා සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඒ අනුව එම ලයිස්තුගත නිලධාරීන් පිළිබදව විමර්ශන පවත්වා ඔවුන් වෛද්‍ය පරීක්ෂණවලට යොමුකර එහිදී මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් පොලිස් සේවයෙන් පහ කිරීමට කටයුතු කරන බවද මනතුංග මහතා පැවැසීය.

මත්ද්‍රව්‍ය භාවිත කරන තවත් නිලධාරීන් ගණනාවක් පිළිබදව විමර්ශන සිදුකරන බවත් එවැනි නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වා මත්ද්‍රව්‍ය භාවිත කරන බවට තහවුරු වුවහොත් කිසිදු සමාවක් නොමැතිව දැඩි තීරණ ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *