ඉන්දීය මධ්යම රජයේ ස්වදේශ කටයුතු අමාත්ය අමිත් ෂා මහතාගේ ප්රධානත්වයෙන් පැවති මෙම රැස්වීමට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිතයෝ සහභාගී වූහ.
කලාපීය ආරක්ෂාව සහ නීතිය ක්රියාත්මක කිරීම සම්බන්ධ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා වන ක්රියාමාර්ග ඇතුළත් ‘දිල්ලි ප්රකාශනය’ ද මෙහිදී සම්මත කරගෙන ඇත.
රැස්වීම අමතමින් අමාත්ය විජේපාල මහතා අපරාධ මැඩලීම, නීතිය ක්රියාත්මක කරන ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ මත්ද්රව්ය ආශ්රිත තර්ජනවලට මුහුණදීම සඳහා ශ්රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පැහැදිලි කළේය. ඒ සඳහා වැළැක්වීම, නීතිය ක්රියාත්මක කිරීම, පුනරුත්ථාපනය සහ ප්රජා සහභාගීත්වය යන අංශ කෙරෙහි අවධානය යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළේය.
මත්ද්රව්ය ජාවාරම, සයිබර් අපරාධ, මූල්ය අපරාධ, මිනිස් ජාවාරම සහ නීතිවිරෝධී ලෙස සංක්රමණිකයන් රටවල් අතරට රැගෙන යාම ඇතුළු දේශසීමා ඉක්මවා පැතිරෙන තර්ජනවලට මුහුණදීම සඳහා BIMSTEC සාමාජික රටවල් අතර වඩාත් ශක්තිමත් සහයෝගීතාවක් අවශ්ය බව ද අමාත්යවරයා අවධාරණය කළේය.
දිල්ලි ප්රකාශනය මඟින් තොරතුරු හුවමාරුව වැඩිදියුණු කිරීම, විශේෂිත පුහුණු වැඩසටහන් ක්රියාත්මක කිරීම සහ ත්රස්තවාදය, දේශසීමා ඉක්මවා ක්රියාත්මක වන සංවිධානාත්මක අපරාධ ඇතුළු කලාපීය ආරක්ෂාවට එල්ල වන තර්ජනවලට එරෙහිව සම්බන්ධීකරණයෙන් යුතුව ක්රියා කිරීම සඳහා වන පියවර අවධාරණය කර තිබේ.
මෙම අමාත්ය රැස්වීමට පෙර ඔක්තෝබර් 12 වැනිදා BIMSTEC සාමාජික රටවල අභ්යන්තර කටයුතු සම්බන්ධයෙන් වගකීම දරන ජ්යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුවක් ද පැවැත්විණි.


