ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කරගත් නව ආයෝජන ව්‍යාපෘති මාලාවක් සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයින් පූර්ණ එකඟතාව පළ කර ඇති බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ප්‍රමුඛ පෙළේ ඔස්ට්‍රේලියානු ආයෝජකයින් සහ ව්‍යවසායකයින් සමඟ විශේෂ ආයෝජන සාකච්ඡා වටයක් සාර්ථකව පැවැත්වූ බවත්, එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත, කෘෂිකර්මාන්ත සහ තිරසර බලශක්ති ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපතිවරයා ඇතුළු රාජ්‍ය ආයතන නියෝජිතයින් සහභාගී වී තිබේ.
සාකච්ඡාවලදී තිරසර බලශක්ති විසඳුම්, පරිසර හිතකාමී රෙදිපිළි තාක්ෂණය, වාණිජ කිරි ගොවිපළ සහ පශු සම්පත් සංවර්ධනය, කාර්මික කලාප තුළ ප්‍රතිචක්‍රීකරණය මත පදනම් වූ ප්ලාස්ටික් කර්මාන්ත, ජලජීවී වගා ව්‍යාපෘති සහ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපෘති ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට විනිවිදභාවයෙන් යුත්, විශ්වාසදායක සහ ආයෝජන හිතකාමී පරිසරයක් ස්ථාපිත කර ඇති බවද අමාත්‍ය හඳුන්නෙත්ති මහතා පැවසීය.
එම ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය සහාය සහ පහසුකම් ලබාදීමට රජය සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.


