ඉන්දීය නාවික හමුදාවට අයත් INS Udaygiri යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද (සැප්තැම්බර් 8) කොළඹ වරායට පැමිණ තිබේ.
දිගුකාලීනව පවත්වාගෙන එන නාවික සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගනු ලැබීය.
මීටර් 149.02ක් දිගැති මෙම නෞකාවේ අණදෙන නිලධාරියා ලෙස කපිතාන් විකාස් සූඩ් කටයුතු කරයි.
සංචාරය අතරතුර කපිතාන් සූඩ් මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවේ බටහිර නාවික ප්‍රදේශයේ ආඥාපති රියර් අද්මිරාල් හර්ෂ ද සිල්වා මහතා බටහිර නාවික විධානයේ මූලස්ථානයේදී හමුවීමට නියමිතය.
කපිතාන් විකාස් සූඩ් මහතා මීට පෙර 2020 ජූලි සිට 2023 ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙසද කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ INS Udaygiri නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහදත්වය වර්ධනය කිරීමේ වැඩසටහන් රැසකට සහභාගි වීමට නියමිතය.
එම වැඩසටහන් දෙරටේ නාවික හමුදා අතර පවතින සුහදත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ සබඳතා වර්ධනය කිරීම අරමුණු කරගෙන සංවිධානය කර තිබේ.
එමෙන්ම සංචාරක හා සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථාන රැසක් නැරඹීමටද පැමිණ සිටින නාවික හමුදා සාමාජිකයන්ට අවස්ථාව සැලසීමට නියමිතය.


