අනුරාධපුර පූජා නගරය එහි ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් පුළුල් සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ. එහි මූලික ඇස්තමේන්තුගත වියදම රු. බිලියන 7.7ක් වන අතර, ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජය මූල්‍ය සහාය ලබාදීමට නියමිතය.
අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ වැඩබලන නියෝජ්‍ය මහ කොමසාරිස් සහ පළමු ලේකම් රොෂිනි තොම්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මෑතකදී සිදු කළ නිල සංචාරයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අනුරාධපුර පූජා නගරය සංවර්ධනය කිරීම සඳහා සහාය ලබාදෙන බවට කළ පොරොන්දුව අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඉන්දියාව අනුරාධපුර මහාබෝධි විහාර සංකීර්ණයේ පූජා නගරය සංවර්ධනය කිරීමට සහාය වන බව මෝදි මහතා 2025 අප්‍රේල් මාසයේදී ප්‍රකාශ කර තිබිණි.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එක්ව අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසික හා ආගමික වැදගත්කම ආරක්ෂා කරමින් එය සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක් යෝජනා කර තිබේ.
එම ආයතන දෙක විසින් සකස් කරන ලද කෙටුම්පත් යෝජනාව මේ වන විටත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇති අතර, ඊයේ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත්තේ එම යෝජිත සංවර්ධන වැඩසටහන පිළිබඳවය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා මහා සංඝරත්නය සහ අදාළ අනෙකුත් පාර්ශ්ව සමඟ පූජා නගර සංවර්ධන සැලැස්ම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
ව්‍යාපෘතිය මෙම වසර අවසන් වීමට පෙර ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහාය ඉන්දීය රජය විසින් ලබාදීමට නියමිතය.
සංවර්ධන වැඩසටහන යටතේ පූජා නගරයට ප්‍රවේශ වන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම, අපද්‍රව්‍ය කළමනාකරණය සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම අබලන්ව ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමේදී පූජා නගරයේ පෞරාණිකත්වය සහ ආගමික ස්වභාවය ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමට සැලසුම් කර තිබේ.


