BBC සිංහල සේවය වාර්තා කරන පරිදි, පොලිස්පතිවරයා අධිකරණයේ උපදෙස් නොසලකා හැර ඇති බවට තීන්දු කළ මහේස්ත්රාත්වරයා, පොලිසිය අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කරන බවට ද චෝදනා කර ඇත.
ගම්පහ පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් එකම පුද්ගලයකුට එරෙහිව මත්ද්රව්ය සම්බන්ධයෙන් නඩු දෙකක් ගොනු කිරීම මෙම ආරවුලට හේතු වී තිබේ.
එම නඩු නිසි සාධාරණ පදනමකින් තොරව ගොනු කර ඇති බවට මීට පෙර තීරණය කළ මහේස්ත්රාත්වරයා, අදාළ පුද්ගලයාට වන්දි වශයෙන් රුපියල් 200,000ක මුදලක් ගෙවන ලෙස පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කර තිබිණි.
එමෙන්ම, නිර්දෝෂී පුරවැසියන්ට එරෙහිව සාධාරණ පදනමකින් තොරව නඩු ගොනු නොකරන ලෙස සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දෙමින් රට පුරා ක්රියාත්මක වන චක්රලේඛයක් නිකුත් කරන ලෙස ද මහේස්ත්රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
කෙසේ වෙතත්, ඔක්තෝබර් 21 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ඔක්තෝබර් 19 වැනිදා බස්නාහිර පළාතේ උතුරු දිසාව භාර නියෝජ්ය පොලිස්පතිවරයා විසින් නිකුත් කළ උපදෙස් මාලාවකි. එම උපදෙස් අදාළ වී ඇත්තේ පොලිස් කොට්ඨාස තුනකට පමණි.
මුල් නියෝගයෙන් ශ්රී ලංකාව පුරා සිටින සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි උපදෙස් නිකුත් කළ යුතු බව පැහැදිලිව සඳහන් කර තිබූ බැවින්, ඉදිරිපත් කළ ලේඛනය මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කර තිබේ.
“මෙය මා නොමඟ යැවීමට කරන උත්සාහයක්” යැයි මහේස්ත්රාත්වරයා විවෘත අධිකරණයේදී ප්රකාශ කළ බව BBC සිංහල සේවය වාර්තා කරයි.
අධිකරණ නියෝගය ක්රියාත්මක කිරීමට මාස පහකට ආසන්න කාලයක් ලබාදී තිබියදීත් එය ක්රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් මහේස්ත්රාත්වරයා පොලිසිය දැඩි ලෙස විවේචනය කර තිබේ.
ඉන් අනතුරුව, පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ක්රියාමාර්ග ගැනීම සඳහා අදාළ නඩු ගොනු අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත.


