අධික ලෙස දුම පිටකරන වාහන හඳුනාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන යටතේ විශේෂ ඡායාරූප ඒකකයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.
ඒ යටතේ දිවයිනේ ප්‍රධාන නගරවල උපායමාර්ගික ස්ථානවල නිලධාරීන් යොදවා, මහජන මාර්ගවල ගමන් කරන වාහන රහසිගතව නිරීක්ෂණය කරමින් අධික දුම පිටකරන වාහනවල ඡායාරූප ලබාගැනීමට නියමිතය.
එලෙස ලබාගන්නා ඡායාරූප සාක්ෂි මත අදාළ වාහන හිමිකරුවන්ට එදිනම නඩත්තු නියෝග නිකුත් කෙරේ.
එම නියෝග ලැබෙන වාහන හිමිකරුවන් නියමිත කාලසීමාව තුළ තම වාහන අලුත්වැඩියා කර, පරීක්ෂාව සඳහා වේරහැර පිහිටි වාහන විමෝචන පරීක්ෂණ මධ්‍යස්ථානයට ඉදිරිපත් කළ යුතුය.
නියෝගවලට අනුකූලව කටයුතු නොකරන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියේ අසාදු ලේඛනගත කිරීමට පියවර ගනු ඇත.
වාහන විමෝචන පරීක්ෂණ වැඩසටහන සඳහන් කරන පරිදි, එලෙස අසාදු ලේඛනගත කෙරෙන වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමේදී සහ හිමිකාරිත්වය පැවරීමේදී සැලකිය යුතු සීමා පැනවෙනු ඇත.


